අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.6.1. අභිඤ්ඤා සුත්තං

4.6.1. විශිෂ්ට ඥානය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, මේ ධර්මයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් ඇත. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක් ඇත. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් ප්‍රගුණ කළ යුතු ධර්මයක් ඇත. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයක් ඇත.

1. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැක්ක යුතු ධර්මය කුමක් ද? පංච උපාදානස්කන්ධය යි. මහණෙනි, මෙය විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැක්ක යුතු ධර්මය යැයි කියනු ලැබේ.

2. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මය කුමක් ද? අවිද්‍යාව ත්, භව තණ්හාව ත් ය. මහණෙනි, මෙය විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

3. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් ප්‍රගුණ කළ යුතු ධර්මය කුමක් ද? සමථ භාවනාව ත්, විදර්ශනා භාවනාව ත් ය. මහණෙනි, මෙය විශිෂ්ට ඥානයෙන් ප්‍රගුණ කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

4. මහණෙනි, විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය කුමක් ද? විද්‍යාව ත්, විමුක්තිය ත් ය. මහණෙනි, මෙය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී ධර්මයෝ සතර යි.

සාදු! සාදු!! සාදු!!!

අභිඤ්ඤා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M