අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.4.4. චතුත්ථ කම්ම සුත්තං

4.5.4.4. කර්මය ගැන වදාළ සිව්වෙනි දෙසුම

මහණෙනි, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, අඳුරු විපාක ඇති අඳුරු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මයක් ඇත්තේ ය. මහණෙනි, අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මයක් ඇත්තේ ය. මහණෙනි, කර්ම ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මයක් ඇත්තේ ය.

1. මහණෙනි, අඳුරු විපාක ඇති අඳුරු කර්මය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. වැරදි කාමසේවනයෙහි යෙදෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ වෙයි. මහණෙනි, මෙය අඳුරු විපාක ඇති අඳුරු කර්මය යැයි කියනු ලැබේ.

2. මහණෙනි, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. වැරදි කාමසේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙය දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය යැයි කියනු ලැබේ.

3. මහණෙනි, අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මය යනු කුමක් ද? මහණෙනි, ඇතැමෙක් දොස් සහිත වූ ත්, දොස් රහිත වූ ත් කාය සංස්කාර රැස් කරන්නේ වෙයි. ….(පෙ)…. (වචී සංස්කාර ….(පෙ)…. මනෝ සංස්කාර රැස් කරන්නේ වෙයි) මහණෙනි, මෙය අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මය යැයි කියනු ලැබේ.

4. මහණෙනි, කර්මය ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මය යනු කුමක් ද? මහණෙනි, එහිලා යම් කර්මයක් අඳුරු වූ ත්, අඳුරු විපාක ඇත්තේ ත් වේ ද, ඒ කර්මය ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් ඇද්ද, ….(පෙ)…. මහණෙනි, කර්මය ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ කම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M