අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.4.3. තතිය කම්ම සුත්තං

4.5.4.3. කර්මය ගැන වදාළ තෙවෙනි දෙසුම

එකල්හී සිඛාමොග්ගල්ලාන බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව වාඩි වූයේ ය. එකත්පස් ව හුන් සිඛාමොග්ගල්ලාන බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, බොහෝ දිනකට පෙර සෝණකායන මාණවකයා මා ළඟට පැමිණියේ ය. පැමිණ මට මෙය පැවසුවේ ය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ සියළු කර්මයන් නොකිරීම පණවනවා නොවැ. සියළු කර්මයන්ගේ නොකිරීම පණවන්නේ ලොවෙහි විනාශයක් කියන්නේ නොවැ. භවත, මේ ලෝකය කර්මය සත්‍යය කොට ඇත. කර්ම රැස් කිරීමෙන් ම පවතියි’ යනුවෙනි.”

“බ්‍රාහ්මණය, මම් වනාහී සෝණකායන නම් මාණවකයෙකු නොදැක්කෙමි. දන්නේ ද නැත. එසේ ඇති කල්හී මෙබඳු වූ කතා සල්ලාපයක් කෙසේ නම් වන්නේ ද?

බ්‍රාහ්මණය, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය. ඒ කවර සතරක් ද යත්;

බ්‍රාහ්මණය, අඳුරු විපාක ඇති අඳුරු කර්මයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මයක් ඇත්තේ ය. බ්‍රාහ්මණය, කර්ම ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මයක් ඇත්තේ ය.

බ්‍රාහ්මණය, අඳුරු විපාක ඇති අඳුරු කර්මය යනු කුමක් ද? බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් දොස් සහිත වූ කාය කර්ම රැස්කරන්නේ වෙයි. දොස් සහිත වූ වචී කර්ම රැස්කරන්නේ වෙයි. දොස් සහිත වූ මනෝ කර්ම රැස් කරන්නේ වෙයි. හේ දොස් සහිත වූ කාය කර්ම රැස්කොට, දොස් සහිත වූ වචී කර්ම රැස්කොට, දොස් සහිත වූ මනෝ කර්ම රැස්කොට දොස් සහිත වූ ලෝකයක උපදින්නේ ය. දොස් සහිත වූ ලෝකයක උපන් ඔහුට දොස් සහිත වූ විපාක ස්පර්ශයෝ ස්පර්ශ වෙති. ඔහු දොස් සහිත විපාක ස්පර්ශයන් ගෙන් ස්පර්ශය ලබන්නේ ඒකාන්තයෙන් දුක්ඛිත වූ දොස් සහිත වූ වේදනාවක් විඳින්නේ වෙයි. නිරිසත්වයෝ එබඳු ය. බ්‍රාහ්මණය, මෙය අඳුරු විපාක ඇති අඳුරු කර්මය යැයි කියනු ලැබේ.

බ්‍රාහ්මණය, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය යනු කුමක් ද? බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් දොස් රහිත වූ කාය කර්ම රැස්කරන්නේ වෙයි. දොස් රහිත වූ වචී කර්ම රැස්කරන්නේ වෙයි. දොස් රහිත වූ මනෝ කර්ම රැස් කරන්නේ වෙයි. හේ දොස් රහිත වූ කාය කර්ම රැස්කොට, දොස් රහිත වූ වචී කර්ම රැස්කොට, දොස් රහිත වූ මනෝ කර්ම රැස්කොට දොස් රහිත වූ ලෝකයක උපදින්නේ ය. දොස් රහිත වූ ලෝකයක උපන් ඔහුට දොස් රහිත වූ විපාක ස්පර්ශයෝ ස්පර්ශ වෙති. ඔහු දොස් රහිත විපාක ස්පර්ශයන් ගෙන් ස්පර්ශය ලබන්නේ ඒකාන්තයෙන් සැපවත් වූ දොස් රහිත වූ වේදනාවක් විඳින්නේ වෙයි. සුභකිණ්ණ දෙවියෝ එබඳු ය. බ්‍රාහ්මණය, මෙය දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය යැයි කියනු ලැබේ.

බ්‍රාහ්මණය, අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මය යනු කුමක් ද? බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් කාය කර්ම රැස්කරන්නේ වෙයි. දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් වචී කර්ම රැස්කරන්නේ වෙයි. දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් මනෝ කර්ම රැස් කරන්නේ වෙයි. හේ දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් කාය කර්ම රැස්කොට, දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් වචී කර්ම රැස්කොට, දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් මනෝ කර්ම රැස්කොට දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් ලෝකයක උපදින්නේ ය. දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් ලෝකයක උපන් ඔහුට දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් විපාක ස්පර්ශයෝ ස්පර්ශ වෙති. ඔහු දොස් සහිත වූ ත් දොස් රහිත වූ ත් විපාක ස්පර්ශයන්ගෙන් ස්පර්ශය ලබන්නේ දුක් සහිත වූ ත්, දුක් රහිත වූ ත්, සැපෙන් දුකින් මිශ්‍ර වූ වේදනාවක් විඳින්නේ වෙයි. මිනිස්සු එබඳු ය. ඇතැම් දෙවියෝ ත්, ඇතැම් විනිපාතිකයෝ ත් එබඳු ය. බ්‍රාහ්මණය, මෙය අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මය යැයි කියනු ලැබේ.

බ්‍රාහ්මණය, කර්මය ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මය යනු කුමක් ද?

බ්‍රාහ්මණය, එහිලා යම් කර්මයක් අඳුරු වූ ත්, අඳුරු විපාක ඇත්තේ ත් වේ ද, ඒ කර්මය ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් ඇද්ද, යම් කර්මයක් දීප්තිමත් වූ ත්, දීප්තිමත් විපාක ඇත්තේ ත් වේ ද, ඒ කර්මය ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් ඇද්ද, යම් කර්මයක් අඳුරු වූ ත් දීප්තිමත් වූ ත්, අඳුරු වූ ත් දීප්තිමත් වූ ත් විපාක ඇත්තේ ත් වේ ද, ඒ කර්මය ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් ඇද්ද, බ්‍රාහ්මණය, කර්මය ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මය යැයි කියනු ලැබේ.

බ්‍රාහ්මණය, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය.”

සාදු! සාදු!! සාදු!!!

තතිය කම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M