අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.5.1. සෝතානුධත සුත්තං

4.4.5.1. සවන් දීමෙන් ධාරණය ගැනීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, සවන් දීමෙන් දරාගන්නා ලද, වචනයෙන් පිරිවහන ලද, මනසින් විමසන ලද, නුවණින් අවබෝධ කරගන්නා ලද ධර්මයන්ගේ ආනිශංස සතරක් කැමති විය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද වැටහෙයි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි. මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කරගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ පළමු ආනිශංසය කැමති විය යුත්තේ ය.

2. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙයි. එනමුදු ඉර්ධිමත් චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. බෙර හඬ හඳුනාගැනීමෙහි දක්ෂ පුරුෂයෙකු සිටියි. හේ දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ බෙර හඬක් අසයි. එවිට මේ බෙර හඬක් දෝ, බෙර හඬක් නොවෙයි දෝ යනුවෙන් සැකයක් හෝ විමතියක් හෝ ඇති නොවෙයි. එනමුත් බෙර හඬක් ම යැයි නිශ්චයකට යයි. එසෙයින් ම මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙයි. එනමුදු ඉර්ධිමත් චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමෙන් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කරගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ දෙවෙනි ආනිශංසය කැමති විය යුත්තේ ය.

3. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි. එහෙත් දිව්‍ය පුත්‍රයෙක් දෙව් පිරිසට ධර්මය දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. සක් පිඹින විට නැගෙන නාදය හොඳින් දන්නා පුරුෂයෙක් සිටියි. හේ දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ සක් පිඹින හඬක් අසයි. එවිට මේ සක් හඬක් දෝ, සක් හඬක් නොවෙයි දෝ කියා සැකයක් හෝ විමතියක් හෝ ඔහු තුළ ඇති නොවෙයි. එනමුදු සංඛ නාදයක් ම යැයි නිශ්චයකට පැමිණෙයි. එසෙයින් ම මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි. එහෙත් දිව්‍ය පුත්‍රයෙක් දෙව් පිරිසට ධර්මය දෙසයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම පෙර ආත්ම භාවයෙහි යම් බුදුසසුනක බඹසර හැසිරුනෙම් ද මේ ඒ ධර්ම විනය නොවැ’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කරගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ තුන්වෙනි ආනිශංසය කැමති විය යුත්තේ ය.

4. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි. එමෙන් ම දිව්‍ය පුත්‍රයෙක් දෙව් පිරිසට ධර්මය නොදෙසයි. එහෙත් ඕපපාතික ව උපන් දෙවියෙක් පසු ව ඕපපාතික ව උපන් තැනැත්තාට සිහි උපදවයි. ‘නිදුකාණෙනි, සිහි කළ මැනැව. යම් සසුනක අපි පෙර මිනිස් ලොව බඹසර හැසිරුණෙමු’ යි. එවිට ඔහු මෙසේ කියයි. ‘නිදුකාණෙනි, සිහි කරමි. නිදුකාණෙනි, සිහි කරමි’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. වැලිකෙළියෙහි යෙදුණු යහළුවෝ දෙදෙනෙක් සිටියහ. ඔවුහු කිසියම් කලක එකිනෙකා මුණගැසෙත් නම් එක යහළුවෙක් අනෙක් යහළුවාට මෙසේ කියයි. ‘මිත්‍රය, මෙසේ ත් සිහි කෙරෙහි ද?’ එවිට හේ මෙසේ කියයි. ‘සිහි කරමි මිත්‍රය’. ‘මිත්‍රය, මෙය ත් සිහි කෙරෙහි ද?’ යි. එවිට හේ මෙසේ කියයි. ‘සිහි කරමි මිත්‍රය’. එසෙයින් ම මහණෙනි, භික්ෂුව ධර්මය හදාරයි. එනම්, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇද්ද, හේ සිහි මුලාව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද නොවැටහෙන්නේ ත් වෙයි. එමෙන් ම ඉර්ධිමත් චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් දෙව්පිරිසට දහම් දෙසන්නේ ත් නොවෙයි. එමෙන් ම දිව්‍ය පුත්‍රයෙක් දෙව් පිරිසට ධර්මය නොදෙසයි. එහෙත් ඕපපාතික ව උපන් දෙවියෙක් පසු ව ඕපපාතික ව උපන් තැනැත්තාට සිහි උපදවයි. ‘නිදුකාණෙනි, සිහි කළ මැනැව. යම් සසුනක අපි පෙර මිනිස් ලොව බඹසර හැසිරුණෙමු’ යි. එවිට ඔහු මෙසේ කියයි. ‘නිදුකාණෙනි, සිහි කරමි. නිදුකාණෙනි, සිහි කරමි’ යි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි.

මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කරගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ සිව්වෙනි ආනිශංසය කැමති විය යුත්තේ ය.

මහණෙනි, සවන් දීමෙන් දරාගන්නා ලද, වචනයෙන් පිරිවහන ලද, මනසින් විමසන ලද, නුවණින් අවබෝධ කරගන්නා ලද ධර්මයන්ගේ මේ ආනිශංස සතර කැමති විය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සෝතානුධත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M