අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.4.10. භික්ඛුසංඝථෝමන සුත්තං

4.4.4.10. භික්ෂු සංඝයාට තුති පිදීම ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ඒ පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා වැඩහුන් සේක. එකල්හී නිහඬ ව නිහඬ ව වැඩසිටි භික්ෂු සංඝයා දෙස හාත්පස බලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මේ පිරිස ප්‍රලාප රහිත ය. මහණෙනි, මේ පිරිස නිෂ්ප්‍රලාප ය. පිරිසිදු ය. සාරයෙහි පිහිටියේ ය. මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය. මහණෙනි, යම් බඳු පිරිසක් ලෝකයෙහි දකින්නට පවා දුර්ලභ වෙයි නම්, මේ එබඳු පිරිස යි. මහණෙනි, යම්බඳු පිරිසක් ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලීකරණීය, ලොවට උතුම් පින්කෙත වූයේ වේ ද, මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය.

මහණෙනි, යම්බඳු පිරිසක් උදෙසා ඉතා ස්වල්ප වූ දෙයක් පූජා කළේ නමුත් එහි බොහෝ සැප විපාක ඇද්ද, බොහෝ දෙයක් පූජා කළේ නම් එහි ඉතා බොහෝ සැප විපාක ඇද්ද, මේ එබඳු පිරිස ය. මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය.

මහණෙනි, යම්බඳු පිරිසක් දැකබලා ගැනීම පිණිස මාර්ගෝපකරණ ද ගෙන යොදුන් ගණන් දුර ගෙවා යන්නට නිසි වෙයි ද, මේ එබඳු පිරිස ය. මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය.

මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර දිව්‍යභාවයට පත් ව වාසය කරන භික්ෂූහු සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර බ්‍රහ්මභාවයට පත් ව වාසය කරන භික්ෂූහු සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර නිශ්චල බවට පත් ව වාසය කරන භික්ෂූහු සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර ආර්යභාවයට පත් ව වාසය කරන භික්ෂූහු සිටිති.

මහණෙනි, භික්ෂුව කෙසේ නම් දිව්‍යභාවයට පත්වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. ….(පෙ)…. හතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. මහණෙනි, භික්ෂුවක් දිව්‍ය භාවයට පත්වන්නේ ඔය අයුරිනි.

මහණෙනි, භික්ෂුව කෙසේ නම් බ්‍රහ්මභාවයට පත්වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත් පතුරුවා වාසය කරයි. එසේ ම උඩ යට සරස සියළු තැන් හි සියළු සත්වයන් කෙරෙහි සකල ලෝකයා වෙත මෛත්‍රී සහගත සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර නැති, තරහ නැති සිත පතුරුවා වාසය කරයි. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත් පතුරුවා වාසය කරයි. එසේ ම උඩ යට සරස සියළු තැන් හි සියළු සත්වයන් කෙරෙහි සකල ලෝකයා වෙත උපේක්ෂා සහගත සිතින් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ වෛර නැති, තරහ නැති සිත පතුරුවා වාසය කරයි. මහණෙනි, භික්ෂුවක් බ්‍රහ්ම භාවයට පත්වන්නේ ඔය අයුරිනි.

මහණෙනි, භික්ෂුව කෙසේ නම් නිශ්චල භාවයට පත්වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව මුළුමනින් ම රූප සංඥාවන් ඉක්ම යෑමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන්, නොයෙක් සංඥා මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය යැ’යි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. මුළුමනින් ම ආකාසානඤ්චායතනය ඉක්මවා ‘අනන්ත විඤ්ඤණය යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. මුළුමනින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. මුළුමනින් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම ගොස් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. මහණෙනි, භික්ෂුවක් නිශ්චල භාවයට පත්වන්නේ ඔය අයුරිනි.

මහණෙනි, භික්ෂුව කෙසේ නම් ආර්යභාවයට පත්වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මෙය දුක යැ’යි ඒ වූ පරිද්දෙන් ම අවබෝධ කරයි. ‘මෙය දුකේ හටගැනීම යැ’යි ඒ වූ පරිද්දෙන් ම අවබෝධ කරයි. ‘මෙය දුකේ නිරුද්ධ වීම යැ’යි ඒ වූ පරිද්දෙන් ම අවබෝධ කරයි. ‘මෙය දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය යැ’යි ඒ වූ පරිද්දෙන් ම අවබෝධ කරයි. මහණෙනි, භික්ෂුවක් ආර්ය භාවයට පත්වන්නේ ඔය අයුරිනි.”

සාදු! සාදු!! සාදු!!!

භික්ඛුසංඝථෝමන සූත්‍රය නිමා විය.

හතරවෙනි බ්‍රාහ්මණ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

යෝධාජීව සූත්‍රය, පටිභෝග සූත්‍රය, අභය සූත්‍රය, සමණ සූත්‍රය, සච්ච සූත්‍රය, උම්මග්ග සූත්‍රය, වස්සකාර සූත්‍රය, උපක සූත්‍රය, සච්ඡිකිරිය සූත්‍රය සහ උපෝසථ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M