අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.4.1. යෝධාජීව සුත්තං

4.4.4.1. යුදභටයා උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ යුද භටයා රජුට යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට යයි. ඒ කවර සතර කරුණෙකින් ද යත්;

මහණෙනි, මෙහිලා යුද භටයා විදින තැන පිළිබඳ ව දක්ෂ වූයේ වෙයි. ඉතා දුර විදින්නේ වෙයි. අකුණු එළියෙන් විදින්නේ වෙයි. මහත් සතුරු සෙන් බිඳලන්නේ වෙයි. මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ යුද භටයා රජුට යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට යයි.

මහණෙනි, එසෙයින් ම සතර කරුණකින් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව විදින තැන පිළිබඳ ව දක්ෂ වූයේ වෙයි. ඉතා දුර විදින්නේ වෙයි. අකුණු එළියෙන් විදින්නේ වෙයි. මහත් සතුරු සෙන් බිඳලන්නේ වෙයි.

1. මහණෙනි, භික්ෂුව විදින තැන පිළිබඳ ව දක්ෂ වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. ශික්ෂා පදයන්හි සමාදන් ව හික්මෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව විදින තැන පිළිබඳ ව දක්ෂ වෙයි.

2. මහණෙනි, භික්ෂුව කෙසේ නම් ඉතා දුර විදින්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම්කිසි රූපයක් අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, පහත් වේවා, උසස් වේවා, දුර හෝ ළඟ හෝ යමක් වේවා ඒ සියළු රූප ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යැයි ඇත්ත ඇති සැටියෙන් ම මනා වූ ප්‍රඥාවෙන් දකියි. යම්කිසි විඳීමක් ….(පෙ)…. යම්කිසි සංඥාවක් ….(පෙ)…. යම්කිසි සංස්කාරයක් ….(පෙ)…. යම්කිසි විඤ්ඤාණයක් අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, පහත් වේවා, උසස් වේවා, දුර හෝ ළඟ හෝ යමක් වේවා ඒ සියළු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යැයි ඇත්ත ඇති සැටියෙන් ම මනා වූ ප්‍රඥාවෙන් දකියි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව ඉතා දුර විදින්නේ වෙයි.

3. මහණෙනි, භික්ෂුව කෙසේ නම් අකුණු එළියෙන් විදින්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මෙය දුක් නිරුද්ධ වන්නා වූ මාර්ගය යැයි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව අකුණු එළියෙන් විදින්නේ වෙයි.

4. මහණෙනි, භික්ෂුව මහත් වූ සතුරු සේනාව බිඳහෙලන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව මහත් වූ අවිද්‍යා කඳ බිඳින්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව මහත් වූ සතුරු කය බිඳින්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

යෝධාජීව සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M