අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.3.9. පරිනිබ්බාන හේතු සුත්තං

4.4.3.9. පිරිනිවීමට හේතු ගැන වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය වදාළහ.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙලොව ඇතැම් සත්වයෝ මේ ජීවිතයේ දී ම පිරිනිවී නොයත් නම් එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද?”

“ආයුෂ්මත් ආනන්දයෙනි, මෙහිලා සත්වයෝ ‘මේ පිරිහීම පිණිස පවතින සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිති. ‘මේ ගුණධර්ම පවත්වන සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිති. ‘මේ දියුණුව පිණිස පවතින සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිති. ‘මේ තියුණු අවබෝධය පිණිස පවතින සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම නොදනිති. ආයුෂ්මත් ආනන්දයෙනි, මෙලොව ඇතැම් සත්වයෝ මේ ජීවිතයේ දී ම පිරිනිවී නොයත් නම් එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි.”

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙලොව ඇතැම් සත්වයෝ මේ ජීවිතයේ දී ම පිරිනිවී යත් නම් එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද?”

“ආයුෂ්මත් ආනන්දයෙනි, මෙහිලා සත්වයෝ ‘මේ පිරිහීම පිණිස පවතින සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිති. ‘මේ ගුණධර්ම පවත්වන සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිති. ‘මේ දියුණුව පිණිස පවතින සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිති. ‘මේ තියුණු අවබෝධය පිණිස පවතින සංඥාවෝ යැ’ යි ඒ වූ සැටියෙන් ම දනිති. ආයුෂ්මත් ආනන්දයෙනි, මෙලොව ඇතැම් සත්වයෝ මේ ජීවිතයේ දී ම පිරිනිවී යත් නම් එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි.”

සාදු! සාදු!! සාදු!!!

පරිනිබ්බාන හේතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M