එකල්හී ආයුෂ්මත් රාහුලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාහුලයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“රාහුලය, තමා තුළ යම්කිසි පඨවි ධාතුවක් ඇද්ද, බාහිර යම්කිසි පඨවි ධාතුවක් ඇද්ද, මෙය පඨවි ධාතුව ම ය. එය ‘මාගේ නොවෙයි, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’ යැයි මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් ම මනා ප්‍රඥාවෙන් දැක්ක යුත්තේ ය. මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් මනා ප්‍රඥාවෙන් දැකගත් විට පඨවි ධාතුව එපා වෙයි. පඨවි ධාතුව පිළිබඳ ව සිත නොඇලෙයි.
රාහුලය, තමා තුළ යම්කිසි ආපෝ ධාතුවක් ඇද්ද, බාහිර යම්කිසි ආපෝ ධාතුවක් ඇද්ද, මෙය ආපෝ ධාතුව ම ය. එය ‘මාගේ නොවෙයි, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’ යැයි මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් ම මනා ප්‍රඥාවෙන් දැක්ක යුත්තේ ය. මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් මනා ප්‍රඥාවෙන් දැකගත් විට ආපෝ ධාතුව එපා වෙයි. ආපෝ ධාතුව පිළිබඳ ව සිත නොඇලෙයි.
රාහුලය, තමා තුළ යම්කිසි තේජෝ ධාතුවක් ඇද්ද, බාහිර යම්කිසි තේජෝ ධාතුවක් ඇද්ද, මෙය තේජෝ ධාතුව ම ය. එය ‘මාගේ නොවෙයි, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’ යැයි මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් ම මනා ප්‍රඥාවෙන් දැක්ක යුත්තේ ය. මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් මනා ප්‍රඥාවෙන් දැකගත් විට තේජෝ ධාතුව එපා වෙයි. තේජෝ ධාතුව පිළිබඳ ව සිත නොඇලෙයි.
රාහුලය, තමා තුළ යම්කිසි වායෝ ධාතුවක් ඇද්ද, බාහිර යම්කිසි වායෝ ධාතුවක් ඇද්ද, මෙය වායෝ ධාතුව ම ය. එය ‘මාගේ නොවෙයි, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’ යැයි මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් ම මනා ප්‍රඥාවෙන් දැක්ක යුත්තේ ය. මේ අයුරින් ඇත්ත ඇති සැටියෙන් මනා ප්‍රඥාවෙන් දැකගත් විට වායෝ ධාතුව එපා වෙයි. වායෝ ධාතුව පිළිබඳ ව සිත නොඇලෙයි.
රාහුලය, යම් විටක භික්ෂුව මේ සතර ධාතූන් පිළිබඳ ව තමා කියා හෝ යමක් නොදකියි ද, තමාට අයත් යැයි යමක් නොදකියි ද, රාහුලය, මේ භික්ෂුව තෘෂ්ණාව සිඳ දැම්මේ ය. සංයෝජන උදුරා දැම්මේ ය. මනාකොට මාන්නය අවබෝධ කොට සසර දුක් කෙළවර කළේ යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
රාහුල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M