සැවැත් නුවර දී ය …….
මහණෙනි, කය හෝ ඇති කල්හී කයින් කරනු ලබන කර්මයන් හේතුවෙන් තමා තුළ සැප දුක් හටගන්නේ වෙයි. මහණෙනි, වචනය හෝ ඇති කල්හී වචනයෙන් කරනු ලබන කර්මයන් හේතුවෙන් තමා තුළ සැප දුක් හටගන්නේ වෙයි. මහණෙනි, මනස හෝ ඇති කල්හී මනසින් කරනු ලබන කර්මයන් හේතුවෙන් තමා තුළ සැප දුක් හටගන්නේ වෙයි. අවිද්‍යාව හේතුවෙනුත් වෙයි.
මහණෙනි, යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ කාය කර්මය තමා හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ කාය කර්මය අනුන් හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ කාය කර්මය දැන හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ කාය කර්මය නොදැන හෝ කරන්නේ වෙයි.
මහණෙනි, යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ වචී කර්මය තමා හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ වචී කර්මය අනුන් හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ වචී කර්මය දැන හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ වචී කර්මය නොදැන හෝ කරන්නේ වෙයි.
මහණෙනි, යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ මනෝ කර්මය තමා හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ මනෝ කර්මය අනුන් හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ මනෝ කර්මය දැන හෝ කරන්නේ වෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ ද, ඒ මනෝ කර්මය නොදැන හෝ කරන්නේ වෙයි.
මහණෙනි, මේ කාය, වචී, මනෝ කර්මයන් මත අවිද්‍යාව වැටී ඇත්තේ ය. ඒ අවිද්‍යාවේ ම ඉතුරු නොකොට නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ නම්, ඒ කය නැතිවෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ නම්, ඒ වචනය නැතිවෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ නම්, ඒ මනස නැතිවෙයි. යම් හේතුවකින් ඔහුට තමා තුළ සැප දුක් හටගන්නේ නම්, ඒ පසුබිම නැතිවෙයි. ඒ කාරණය නැතිවෙයි. ඒ ආයතනය නැතිවෙයි. ඒ අවුල නැතිවෙයි.
මහණෙනි, මේ ආත්මභාව ලැබීම් සතරකි. ඒ කවර සතරක් ද යත්;
1. යම් ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව පවතියි ද, අන්‍යයන්ගේ කර්මය අනුව නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත.
2. යම් ආත්මභාවයක් ලැබීම තුළ අන්‍යයන්ගේ කර්මය අනුව පවතියි ද, තමන්ගේ කර්මය අනුව නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත.
3. යම් ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව පවතියි ද, එමෙන් ම අන්‍යයන්ගේ කර්මය අනුව ත් පවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත.
4. යම් ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව නොපවතියි ද, එමෙන් ම අන්‍යයන්ගේ කර්මය අනුව ත් නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත.
මහණෙනි, මේ වනාහී ආත්මභාව ලැබීම් සතර යි.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අරුත් හකුළුවා වදාරණ ලද මෙකරුණෙහි අර්ථය මම මේ අයුරින් විස්තර වශයෙන් දනිමි.
1. ස්වාමීනී, එහිලා යම් මේ ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව පවතියි ද, අන්‍යයන්ගේ කර්මය අනුව නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත්තේ ද, තමාගේ ක්‍රියාව හේතුවෙන් ඒ සත්වයන්ගේ ඒ කයින් චුත වීම වෙයි.
2. ස්වාමීනී, එහිලා යම් මේ ආත්මභාවයක් ලැබීම තුළ අන්‍යයන්ගේ කර්මය අනුව පවතියි ද, තමන්ගේ කර්මය අනුව නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත්තේ ද, අනුන්ගේ ක්‍රියාව හේතුවෙන් ඒ සත්වයන්ගේ ඒ කයින් චුත වීම වෙයි.
3. ස්වාමීනී, එහිලා යම් මේ ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව පවතියි ද, එමෙන් ම අන්‍යයන්ගේ කර්මය අනුව ත් පවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත්තේ ද, තමාගේ ක්‍රියාව හේතුවෙනුත්, අනුන්ගේ ක්‍රියාව හේතුවෙනුත් ඒ සත්වයන්ගේ ඒ කයින් චුත වීම වෙයි.
4. ස්වාමීනී, එහිලා යම් මේ ආත්මභාවයක් ලැබීම තුළ තමාගේ කර්මය අනුව නොපවතියි ද, එමෙන් ම අන්‍යයන්ගේ කර්මය අනුව ත් නොපවතියි ද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත්තේ ද, එකරුණෙන් කවර දෙවියන් පිළිබඳ ව ද දත යුත්තේ?”
“සාරිපුත්තයෙනි, එකරුණෙන් දත යුත්තේ නේවසඤ්ඤානාසඤ්ඤා යතනයේ උපන් දෙවියන් පිළිබඳව ය.”
“ස්වාමීනී, මෙහිලා ඇතැම් සත්වයෝ ඒ කයින් චුත ව නැවත මෙලොවට එත් ද, යළි මේ මනුලොවෙහි එන සුළු වෙත් ද, එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද? ස්වාමීනී, මෙහිලා ඇතැම් සත්වයෝ ඒ කයින් චුත ව නැවත මෙලොවට නොඑත් ද, යළි මේ මනුලොවෙහි නොඑන සුළු වෙත් ද, එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද?”
“සාරිපුත්ත, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුගේ ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහීණ නොවූයේ වෙයි. හේ මේ ජීවිතයේ දී ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය උපදවා වාසය කරයි. හේ එයින් සතුට විඳියි. එයට බලවත් කැමැත්තක් ඇතිකරගනියි. එයින් ම සතුටට පත්වෙයි. ඒ සමවත තුළ සිටියේ එහි ම බැසගත්තේ ඒ තුළ ම බහුල ව වසන්නේ එයින් නොපිරිහුණේ කළුරිය කරද්දී නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් අතර උපදින්නේ වෙයි. හෙතෙම එයින් චුත වූයේ පැමිණෙන්නේ වෙයි. මෙලොවට එන ස්වභාවයෙන් යුතු වූයේ වෙයි.
සාරිපුත්ත, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුගේ ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහීණ වූයේ වෙයි. හේ මේ ජීවිතයේ දී ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය උපදවා වාසය කරයි. හේ එයින් සතුට විඳියි. එයට බලවත් කැමැත්තක් ඇතිකරගනියි. එයින් ම සතුටට පත්වෙයි. ඒ සමවත තුළ සිටියේ එහි ම බැසගත්තේ ඒ තුළ ම බහුල ව වසන්නේ එයින් නොපිරිහුණේ කළුරිය කරද්දී නේවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් අතර උපදින්නේ වෙයි. හෙතෙම එයින් චුත වූයේ නොපැමිණෙන්නේ වෙයි. මෙලොවට නොඑන ස්වභාවයෙන් යුතු වූයේ වෙයි.
සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් සත්වයෝ ඒ කයින් චුත ව නැවත මෙලොවට එත් ද, යළි මේ මනුලොවෙහි එන සුළු වෙත් ද, එයට හේතුව මෙය යි. එයට ප්‍රත්‍යය මෙය යි. සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් සත්වයෝ ඒ කයින් චුත ව නැවත මෙලොවට නොඑත් ද, යළි මේ මනුලොවෙහි නොඑන සුළු වෙත් ද, එයට හේතුව මෙය යි. එයට ප්‍රත්‍යය මෙය යි.”
සාදු! සාදු!! සාදු!!!
සංචේතනා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M