එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ
“ආයුෂ්මත් මහණෙනි”යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය වදාළහ.
“ආයුෂ්මතුනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා මා සමීපයෙහි අරහත්වයට පැමිණීම පිළිබඳ ව පවසයි ද ඒ සියල්ලෝ ම සතර මාර්ගයන් ගෙන් හෝ එයින් එක්තරා මාර්ගයකින් හෝ අරහත්වයට පත් වූ බව පවසති. ඒ කවර සතර මාර්ගයකින් ද යත්;
ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව සමථ භාවනාව මුල්කොට විදර්ශනාව දියුණු කරන්නේ වෙයි. සමථ භාවනාව මූලික අංගය කොට විදර්ශනා භාවනාව දියුණු කරන ඔහුට නිවන් මග උපදියි. හේ ඒ මාර්ගය සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, දියුණු කරන, බහුල ව ප්‍රගුණ කරන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසය නැති වී යයි.
තව ද ආයුෂ්මත්නි, භික්ෂුව විදර්ශනා භාවනාව මුල්කොට සමථ භාවනාව දියුණු කරන්නේ වෙයි. විදර්ශනා භාවනාව මූලික අංගය කොට සමථ භාවනාව දියුණු කරන ඔහුට නිවන් මග උපදියි. හේ ඒ මාර්ගය සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, දියුණු කරන, බහුල ව ප්‍රගුණ කරන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසය නැති වී යයි.
තව ද ආයුෂ්මත්නි, භික්ෂුව සමථ – විදර්ශනා භාවනාවන් දෙක ම එකවර දියුණු කරන්නේ වෙයි. සමථ – විදර්ශනා භාවනාවන් දෙක එකවර දියුණු කරන ඔහුට නිවන් මග උපදියි. හේ ඒ මාර්ගය සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, දියුණු කරන, බහුල ව ප්‍රගුණ කරන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසය නැති වී යයි.
තව ද ආයුෂ්මත්නි, භික්ෂුව සමථ විදර්ශනා භාවනාවෙන් මුලින් ම ලැබෙන උපක්ලේශයන් නිසා හටගත් මාන්නයෙන් යුක්ත වූයේ වෙයි. ආයුෂ්මතුනි, යම් කලෙක යම් හෙයකින් සිත ආධ්‍යාත්මයෙහි පිහිටන්නේ ද, සංසිඳෙන්නේ ද, එකඟ වන්නේ ද, සමාධිමත් වන්නේ ද වෙයි නම් එවිට ඔහුට නිවන් මග උපදියි. හේ ඒ මාර්ගය සේවනය කරයි. දියුණු කරයි. බහුල ව ප්‍රගුණ කරයි. ඒ මාර්ගය සේවනය කරන, දියුණු කරන, බහුල ව ප්‍රගුණ කරන ඔහුගේ සංයෝජනයෝ ප්‍රහාණය වී යති. කෙලෙස් අනුසය නැති වී යයි.
ආයුෂ්මතුනි, යම්කිසි භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා මා සමීපයෙහි අරහත්වයට පැමිණීම පිළිබඳ ව පවසයි ද ඒ සියල්ලෝ ම මේ සතර මාර්ගයන්ගෙන් හෝ එයින් එක්තරා මාර්ගයකින් හෝ අරහත්වයට පත් වූ බව පවසති.”
සාදු! සාදු!! සාදු!!!
අරහත්තප්පත්ති සූත්‍රය නිමා විය.
දෙවෙනි පටිපදා වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M