අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.5.7. දුතිය කාල සුත්තං

4.3.5.7. සුදුසු කාලය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ සුදුසු කාලයන් සතර යහපත් අයුරින් භාවිතා කරන විට, යහපත් අයුරින් යළි යළි යොදන විට අනුක්‍රමයෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමට පැමිණෙයි. ඒ කවර සතරක් ද යත්;

සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීම ය. සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම ය. සුදුසු කාලයෙහි සමථ භාවනාවෙහි යෙදීම ය. සුදුසු කාලයෙහි විදර්ශනා භාවනාවෙහි යෙදීම ය.

මහණෙනි, මේ සුදුසු කාලයන් සතර යහපත් අයුරින් භාවිතා කරන විට, යහපත් අයුරින් යළි යළි යොදන විට අනුක්‍රමයෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමට පැමිණෙන්නේ ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. පර්වතයන්ට ඉහළින් මහත් දිය පොද ඇති වැස්ස වසින කල්හී ඒ ජලය බෑවුම් ඇති තැන්වලින් පහළ වැටෙමින් පර්වත දිය ඇලි, පිපුරුම් ශාඛා ආදිය පුරවයි. පර්වත, දිය ඇලි, පිපුරුම් ශාඛා ආදිය පුරවමින් කුඩා විල් පුරවයි. කුඩා විල් පුරවමින් මහා විල් පුරවයි. මහා විල් පුරවමින් කුඩා ගංගා පුරවයි. කුඩා ගංගා පුරවමින් මහා ගංගා පුරවයි. මහා ගංගා පුරවමින් මහා සාගරය පුරවයි. මේ අයුරින් ම මහණෙනි, මේ සුදුසු කාලයන් සතර යහපත් අයුරින් භාවිතා කරන විට, යහපත් අයුරින් යළි යළි යොදන විට අනුක්‍රමයෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමට පැමිණෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය කාල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M