මහණෙනි, සක්විති රජු තුළ ආශ්චර්ය අද්භූත කරුණු සතරක් ඇත. ඒ කවර සතරක් ද යත්;
1. ඉදින් මහණෙනි, ක්ෂත්‍රිය පිරිස සක්විති රජුන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී සක්විති රජ තෙමේ කතා බස් කරයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, ක්ෂත්‍රිය පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී සක්විති රජ තෙමේ නිශ්ශබ්ද වෙයි.
2. ඉදින් මහණෙනි, බ්‍රාහ්මණ පිරිස සක්විති රජුන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී සක්විති රජ තෙමේ කතා බස් කරයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, බ්‍රාහ්මණ පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී සක්විති රජ තෙමේ නිශ්ශබ්ද වෙයි.
3. ඉදින් මහණෙනි, ගෘහපති පිරිස සක්විති රජුන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී සක්විති රජ තෙමේ කතා බස් කරයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, ගෘහපති පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී සක්විති රජ තෙමේ නිශ්ශබ්ද වෙයි.
4. ඉදින් මහණෙනි, ශ්‍රමණ පිරිස සක්විති රජුන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී සක්විති රජ තෙමේ කතා බස් කරයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, ශ්‍රමණ පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී සක්විති රජ තෙමේ නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, සක්විති රජු තුළ මේ ආශ්චර්ය අද්භූත කරුණු සතර ඇත.
එසෙයින් ම මහණෙනි, ආනන්දයන් තුළ ආශ්චර්ය අද්භූත කරුණු සතරක් ඇත. ඒ කවර සතරක් ද යත්;
1. ඉදින් මහණෙනි, භික්ෂු පිරිස ආනන්දයන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී ආනන්දයන් ධර්මය දෙසයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, භික්ෂු පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී ආනන්දයන් නිශ්ශබ්ද වෙයි.
2.-4. ඉදින් මහණෙනි, භික්ෂුණී පිරිස ….(පෙ)…. ඉදින් මහණෙනි, උපාසක පිරිස ….(පෙ)…. ඉදින් මහණෙනි, උපාසිකා පිරිස ආනන්දයන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී ආනන්දයන් ධර්මය දෙසයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී ආනන්දයන් නිශ්ශබ්ද වෙයි.
මහණෙනි, ආනන්දයන් තුළ මේ ආශ්චර්ය අද්භූත කරුණු සතර ඇත.
සාදු! සාදු!! සාදු!!!
චක්කවත්තී අච්ඡරිය සූත්‍රය නිමා විය.
තුන්වෙනි භය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අත්තානුවාද සූත්‍රය, ඌමි සූත්‍රය, පුග්ගල සූත්‍ර හතර, අච්ඡරිය සූත්‍ර දෙකක් සහ යළි අච්ඡරිය සූත්‍ර දෙකක් වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M