අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.2.7. ආරක්ඛ සුත්තං

4.3.2.7. රැකගැනීම ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර තැනක් කෙරෙහි තම යහපත කැමති ව අප්‍රමාදී ව සිහියෙන් යුතුව සිත රැකීමට කටයුතු කළ යුත්තේ ය. ඒ කවර සතර තැනක් කෙරෙහි ද යත්;

1. රාගය ඇතිවන දේ කෙරෙහි මාගේ සිත නොඇලේවා යි තම යහපත කැමති ව අප්‍රමාදී ව සිහියෙන් යුතුව සිත රැකීමට කටයුතු කළ යුත්තේ ය.

2. ද්වේෂය ඇතිවන දේ කෙරෙහි මාගේ සිත දුෂිත නොවේවා යි තම යහපත කැමති ව අප්‍රමාදී ව සිහියෙන් යුතුව සිත රැකීමට කටයුතු කළ යුත්තේ ය.

3. මෝහය ඇතිවන දේ කෙරෙහි මාගේ සිත මුලා නොවේවා යි තම යහපත කැමති ව අප්‍රමාදී ව සිහියෙන් යුතුව සිත රැකීමට කටයුතු කළ යුත්තේ ය.

4. මත්වීම ඇතිවන දේ කෙරෙහි මාගේ සිත මත් නොවේවා යි තම යහපත කැමති ව අප්‍රමාදී ව සිහියෙන් යුතුව සිත රැකීමට කටයුතු කළ යුත්තේ ය.

මහණෙනි, යම් විටෙක භික්ෂුවගේ සිත වීතරාගී බවට පත්වීමෙන් රාගය ඇතිවන දේ කෙරෙහි නොඇලෙයි ද, වීතදෝෂී බවට පත්වීමෙන් ද්වේෂය ඇතිවන දේ කෙරෙහි සිත නොගැටෙයි ද, වීතමෝහී බවට පත්වීමෙන් මෝහය ඇතිවන දේ කෙරෙහි සිත මුලා නොවෙයි ද, මත්වීම දුරුවීම හේතුවෙන් මත්වීම ඇතිවන දේ කෙරෙහි සිත මත් නොවෙයි ද හේ තැති නොගනියි. නොසැලෙයි. නොවෙව්ලයි. සන්ත්‍රාසයට පත් නොවෙයි. අන්‍ය වූ ශ්‍රමණයන්ගේ වචන හේතුවෙන් මිසදිටුවක් කරා නොයයි.

සාදු! සාදු!! සාදු!!!

ආරක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M