අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.2.1. කේසී සුත්තං

4.3.2.1. කේසී නම් අශ්වයන් පුහුණු කරන්නාට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

එකල්හී කේසී නම් අශ්වයන් පුහුණු කරන තැනැත්තා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් කේසී නම් අශ්වයන් පුහුණු කරන තැනැත්තාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“කේසී, අශ්වයන් පුහුණු කිරීමෙහිලා ඔබ ඉතා ප්‍රසිද්ධ කෙනෙක් නොවැ. කේසී, ඔබ අශ්වයෙකු පුහුණු කරන්නේ කෙසේ ද?”

“ස්වාමීනී, මම හික්මවිය යුතු අශ්වයා මෘදු ආකාරයෙනුත් හික්මවමි. ඵරුෂ ආකාරයෙනුත් හික්මවමි. මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මවමි.”

“ඉදින් කේසී, ඒ හික්මවිය යුතු අශ්වයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, එවිට ඒ අසුට කුමක් කරන්නෙහි ද?”

“ඉදින් ස්වාමීනී, හික්මවිය යුතු මාගේ ඒ අශ්වයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, ස්වාමීනී, මම ඒ සතා මරා දමමි. මක් නිසා ද යත්, මාගේ ආචාර්ය කුලයට අවනම්බුවක් නොවේවා කියා ය.

ස්වාමීනී, හික්මවිය යුතු පුරුෂයන් පුහුණු කිරීමෙහිලා භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ හික්මවිය යුතු පුරුෂයා කෙසේ හික්මවන සේක් ද?”

“කේසී, මම හික්මවිය යුතු පුරුෂයා මෘදු ආකාරයෙනුත් හික්මවමි. ඵරුෂ ආකාරයෙනුත් හික්මවමි. මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මවමි.

කේසී, එහිලා මෘදු ආකාරයෙහි මෙය ඇත්තේ ය. එනම් කාය සුචරිතය යනු මෙය යි. කාය සුචරිතයෙහි විපාකය මෙය යි. වාක් සුචරිතය යනු මෙය යි. වාක් සුචරිතයෙහි විපාකය මෙය යි. මනෝ සුචරිතය යනු මෙය යි. මනෝ සුචරිතයෙහි විපාකය මෙය යි. දෙවියෝ මෙබඳු වූවෝ ය. මනුෂ්‍යයෝ මෙබඳු වූවෝ ය වශයෙනි.

කේසී, එහිලා ඵරුෂ ආකාරයෙහි මෙය ඇත්තේ ය. එනම් කාය දුෂ්චරිතය යනු මෙය යි. කාය දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. වාක් දුෂ්චරිතය යනු මෙය යි. වාක් දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. මනෝ දුෂ්චරිතය යනු මෙය යි. මනෝ දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. නිරි සත්වයෝ මෙබඳු වූවෝ ය. තිරිසන් යෝනිය මෙබඳු වූයේ ය. ප්‍රේත විෂය මෙබඳු වූයේ ය වශයෙනි.

කේසී, එහිලා මෘදු ඵරුෂ ආකාරයෙහි මෙය ඇත්තේ ය. එනම් කාය සුචරිතය යනු මෙය යි. කාය සුචරිතයෙහි විපාකය මෙය යි. වාක් සුචරිතය යනු මෙය යි. වාක් සුචරිතයෙහි විපාකය මෙය යි. මනෝ සුචරිතය යනු මෙය යි. මනෝ සුචරිතයෙහි විපාකය මෙය යි. කාය දුෂ්චරිතය යනු මෙය යි. කාය දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. වාක් දුෂ්චරිතය යනු මෙය යි. වාක් දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. මනෝ දුෂ්චරිතය යනු මෙය යි. මනෝ දුෂ්චරිතයෙහි විපාකය මෙය යි. දෙවියෝ මෙබඳු වූවෝ ය. මනුෂ්‍යයෝ මෙබඳු වූවෝ ය. නිරි සත්වයෝ මෙබඳු වූවෝ ය. තිරිසන් යෝනිය මෙබඳු වූයේ ය. ප්‍රේත විෂය මෙබඳු වූයේ ය වශයෙනි.”

“ඉදින් ස්වාමීනී, ඒ හික්මවිය යුතු පුරුෂයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, එවිට ඒ පුරුෂයාට කුමක් කරන්නෙහි ද?”

“ඉදින් කේසී, හික්මවිය යුතු මාගේ ඒ පුරුෂයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, කේසී, මම ඒ පුරුෂයා මරා දමමි.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම කැප නැත්තේ ම ය. එසේ තිබිය දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ සේක. ‘කේසී, මම ඔහු මරා දමමි’ යි.”

“කේසී, තථාගතයන් හට සතුන් මැරීම කැප නැති බව සැබෑ ය. එනමුදු හික්මවිය යුතු ඒ පුරුෂයා මෘදු අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, ඵරුෂ අයුරිනුත් හික්මීමකට නොපත් වෙයි නම්, මෘදු ඵරුෂ දෙකෙන් ම ත් හික්මීමකට නොපත් වෙයි නම්, තථාගත තෙමේ ඒ තැනැත්තා කරුණු කිව යුත්තෙකු වශයෙන්, අනුශාසනා කළ යුත්තෙකු වශයෙන් නොසිතයි. නුවණැති සබ්‍රහ්මචාරීහු ද ඒ තැනැත්තා කරුණු කිව යුත්තෙකු වශයෙන්, අනුශාසනා කළ යුත්තෙකු වශයෙන් නොසිතති. කේසී, තථාගතයන් වහන්සේ යමෙකු පිළිබඳව කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රහ්මචාරීහු ද, කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, ආර්ය විනයෙහි මෙය වනාහී මරා දැමීමක් බඳු ය.”

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ යමෙකු පිළිබඳව කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රහ්මචාරීහු ද, කිව යුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත් ද, ඒකාන්තයෙන් ම එය වනාහී බරපතල මරා දැමීමක් බඳු ම ය.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා !”

සාදු! සාදු!! සාදු!!!

කේසී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M