අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.1.1. පඨම වළාහක සුත්තං

4.3.1.1. වළාකුළු උපමා කොට වදාළ පළමු දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, මේ වළාකුළු වර්ග සතරකි. ඒ කවර සතරක් ද යත්;

ගොරවයි, එහෙත් නොවසියි. වසින්නේ ය, එහෙත් ගෙරවිලි නැත්තේ ය. ගොරවන්නේ ද නැත, වසින්නේ ද නැත. ගොරවන්නේ ත් වෙයි, වසින්නේ ත් වෙයි. මහණෙනි, මේ වනාහී වළාකුළු වර්ග සතර යි.

මහණෙනි, මේ අයුරින් මේ වළාකුළු වර්ග සතර උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

ගොරවයි, එහෙත් නොවසියි. වසින්නේ ය, එහෙත් ගෙරවිලි නැත්තේ ය. ගොරවන්නේ ද නැත, වසින්නේ ද නැත. ගොරවන්නේ ත් වෙයි, වසින්නේ ත් වෙයි.

1. මහණෙනි, පුද්ගලයෙක් ගොරවන්නේ නමුත් නොවසින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කියන්නේ වෙයි. එහෙත් නොකරන්නේ ය. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා ගොරවන නමුත් නොවසියි. මහණෙනි, යම් සේ ඒ වළාකුල ගොරවන නමුත් නොවසින්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

2. මහණෙනි, පුද්ගලයෙක් වසින්නේ නමුත් නොගොරවන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කරන්නේ වෙයි. එහෙත් නොකියන්නේ ය. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා වසින නමුත් නොගොරවයි. මහණෙනි, යම් සේ ඒ වළාකුල වසින නමුත් නොගොරවන්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ගොරවන්නේ ත් නොවෙයි ද? වසින්නේ ත් නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නොකියන්නේ ත් වෙයි. එමෙන් ම නොකරන්නේ ත් වෙයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා නොගොරවයි. නොවසියි. මහණෙනි, යම් සේ ඒ වළාකුල නොගොරවන්නේ ද, නොවසින්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ගොරවන්නේ ත් වෙයි ද? වසින්නේ ත් වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කියන්නේ ත් වෙයි. එමෙන් ම කරන්නේ ත් වෙයි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා ගොරවයි. වසියි. මහණෙනි, යම් සේ ඒ වළාකුල ගොරවන්නේ ද, වසින්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.

මහණෙනි, මේ අයුරින් මේ වළාකුළු වර්ග සතර උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

පඨම වළාහක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M