අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.5.10. පෝතලිය සුත්තං

4.2.5.10. පෝතලිය පිරිවැජියාට වදාළ දෙසුම

එකල්හී පෝතලිය පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් පෝතලිය පිරිවැජියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. පෝතලිය, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. එහෙත් ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි.

2. පෝතලිය, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. එහෙත් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි.

3. පෝතලිය, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි. එමෙන් ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි.

4. පෝතලිය, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. එසේ ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි.

පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

පෝතලිය, මේ පුද්ගලයන් සිව් දෙනා අතුරින් කවර පුද්ගලයෙක් සුන්දරතර වශයෙන්, උසස් වශයෙන් ඔබට රුචි වන්නේ ද?”

“භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. එහෙත් ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි.

භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. එහෙත් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි.

භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි. එමෙන් ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි.

භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. එසේ ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි.

භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයන් සිව් දෙනා අතුරින් යම් මේ පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි ද, එමෙන් ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි නොකියන්නේ වෙයි ද, මේ සතර පුද්ගලයන් අතුරින් මේ පුද්ගලයා මා හට සුන්දරතර ද, උසස් ද වෙයි. මක් නිසාද යත්, භවත් ගෞතමයන් වහන්ස, යම් උපේක්ෂාවක් එය සුන්දර හෙයිනි.”

“පෝතලිය, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

පෝතලිය, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. ….(පෙ)…. එසේ ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි.

පෝතලිය, මේ පුද්ගලයන් සිව් දෙනාගෙන් යම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි ද, එසේ ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි ද, මේ පුද්ගලයන් සිව් දෙනාගෙන් මොහු සුන්දරතර ද, උසස් ද වෙයි. මක් නිසාද යත්, පෝතලිය, ඒ ඒ කරුණ පැවසීම සුදුසු කල් දන්නා බවක් ඇද්ද, එය සුන්දර වූ දෙයක් නිසා ය.”

“භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි. ….(පෙ)…. එසේ ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි.

භවත් ගෞතමයන් වහන්ස, මේ පුද්ගලයන් සිව් දෙනාගෙන් යම් පුද්ගලයෙක් නුගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම නුගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි ද, එසේ ම ගුණ කිව යුත්තාගේ තිබෙන්නා වූ ම, සත්‍ය වූ ම ගුණ සුදුසු වෙලාවෙහි කියන්නේ වෙයි ද, මේ පුද්ගලයන් සිව් දෙනාගෙන් මොහු සුන්දරතර ද, උසස් ද වෙයි. මක් නිසාද යත්, භවත් ගෞතමයන් වහන්ස, ඒ ඒ කරුණ පැවසීම සුදුසු කල් දන්නා බවක් ඇද්ද, එය සුන්දර වූ දෙයක් නිසා ය.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස. යටිකුරු වූ දෙයක් උඩට හරවා තබන්නේ යම් සේ ද, වැසූ දෙයක් විවර කර පෙන්වන්නේ යම් සේ ද, මං මුළා වූවෙකුට නිවැරදි මග කියන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකිත්වා යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය වදාරණ ලද්දේ ය. ඒ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි. අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා !”

සාදු! සාදු!! සාදු!!!

පෝතලිය සූත්‍රය නිමා විය.

පස්වෙනි අසුර වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අසුර සූත්‍රය, සමාධි සූත්‍ර තුන, ඡවාලාත සූත්‍රය, රාගවිනය සූත්‍රය, ඛිප්පනිසන්ති සූත්‍රය, අත්තහිත සූත්‍රය, සික්ඛාපද සූත්‍රය සහ පෝතලිය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

දෙවෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M