අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.4.10. සමණමචල – ඛන්ධ සුත්තං

4.2.4.10. ශ්‍රමණ අචල – ස්කන්ධ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

ශ්‍රමණ අචල ය. ශ්‍රමණ පුණ්ඩරීක ය. ශ්‍රමණ පදුම ය. ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල ය.

1. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ අචල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සේඛ වූයේ වෙයි. නොපැමිණි අරහත්ඵලය ඇත්තේ වෙයි. අනුත්තර වූ නිවන පතමින් ප්‍රතිපදාවෙහි හික්මෙමින් වාසය කරයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙමේ ශ්‍රමණ අචල වූයේ වෙයි.

2. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පුණ්ඩරීක වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැතිවීම ත් නුවණින් දකිමින් වාසය කරයි. එනම් රූපය යනු මෙය යි. රූපයෙහි හටගැනීම යනු මෙය යි. රූපය නැති වී යාම යනු මෙය යි. විඳීම යනු මෙය යි. විඳීමෙහි හටගැනීම යනු මෙය යි. විඳීම නැති වී යාම යනු මෙය යි. සංඥාව යනු මෙය යි. සංඥාවෙහි හටගැනීම යනු මෙය යි. සංඥාව නැති වී යාම යනු මෙය යි. සංස්කාර යනු මෙය යි. සංස්කාරයන්හි හටගැනීම යනු මෙය යි. සංස්කාරයන් නැති වී යාම යනු මෙය යි. විඤ්ඤාණය යනු මෙය යි. විඤ්ඤාණයෙහි හටගැනීම යනු මෙය යි. විඤ්ඤාණය නැති වී යාම යනු මෙය යි වශයෙනි. එමෙන්ම අෂ්ට විමෝක්ෂයන් කයෙන් ස්පර්ශ කොට නොවසන්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙමේ ශ්‍රමණ පුණ්ඩරීක වූයේ වෙයි.

3. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පදුම වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැතිවීම ත් නුවණින් දකිමින් වාසය කරයි. එනම් රූපය යනු මෙය යි. රූපයෙහි හටගැනීම යනු මෙය යි. රූපය නැති වී යාම යනු මෙය යි. විඳීම යනු මෙය යි. ….(පෙ)…. සංඥාව යනු මෙය යි. ….(පෙ)…. සංස්කාර යනු මෙය යි. ….(පෙ)…. විඤ්ඤාණය යනු මෙය යි. විඤ්ඤාණයෙහි හටගැනීම යනු මෙය යි. විඤ්ඤාණය නැති වී යාම යනු මෙය යි වශයෙනි. එමෙන් ම අෂ්ට විමෝක්ෂයන් කයෙන් ස්පර්ශ කොට වසන්නේ වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ ශ්‍රමණ පදුම වූයේ වෙයි.

4. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ සිවුරු පරිහරණය කරයි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. ….(පෙ)…. මහණෙනි, ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි යමෙකු අරභයා මැනැවින් පවසන්නේ නම් මහණෙනි, ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි මැනැවින් පැවසිය යුත්තේ මා උදෙසා ම ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයේ විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

සමණමචල – ඛන්ධ සූත්‍රය නිමා විය.

සිව්වෙනි මචල වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පාණාතිපාතී සූත්‍රය, මුසාවාදී සූත්‍රය, වණ්ණ සූත්‍රය, කෝධ සූත්‍රය, තමෝතම පරායන සූත්‍රය, ඕනත සූත්‍රය, පුත්ත සූත්‍රය, සංයෝජන සූත්‍රය, දිට්ඨි සූත්‍රය සහ ඛන්ධ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M