මහණෙනි, යම් කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදනු ලද්දාහු වෙද්ද, ඒ පවුල් බ්‍රහ්මයා සහිත වේ. මහණෙනි, යම් කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදනු ලද්දාහු වෙද්ද, ඒ පවුල් මුලින් ම ලැබෙන ගුරුවරු සහිත වේ. මහණෙනි, යම් කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදනු ලද්දාහු වෙද්ද, ඒ පවුල් මුලින් ම ලැබෙන දෙවිවරු සහිත වේ. මහණෙනි, යම් කුලදරුවන්ගේ නිවසක මව්පියෝ පුදනු ලද්දාහු වෙද්ද, ඒ පවුල් දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් සහිත වේ.
මහණෙනි, ‘බ්‍රහ්මරාජයෝ’ යනු මව්පියන් හට කියන නමකි. ‘මුලින් ම ලැබෙන ගුරුවරු’ යනු මව්පියන් හට කියන නමකි. ‘මුලින් ම ලැබෙන දෙවිවරු’ යනු මව්පියන් හට කියන නමකි. ‘දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමෝ’ යනු මව්පියන් හට කියන නමකි. එයට හේතුව කුමක්ද? මහණෙනි, මව්පියවරු දූදරුවන්ට බොහෝ උපකාරී වූවෝ ය. දූදරුවන් ඉපැද්දවූහ. පෝෂණය කළාහු ය. මේ ලෝකයෙහි යහපත පෙන්නුවාහු ය.
(ගාථා)
1. මව්පියවරු බ්‍රහ්මරාජයෝ ය. මුලින් ම ලැබෙන ආචාර්යවරු ය යි කියනු ලැබේ. දූදරුවන්ගේ පුද පූජාවන්ට නිසි වූ ඒ දෙමව්පියෝ දරු පරපුරට අනුකම්පා කරන්නෝ ය. එහෙයින් නුවණැති දරු තෙමේ තම දෙමව්පියන්ට වැඳුම් පිදුම් කරන්නේ ය. ඇප උපස්ථාන කරන්නේ ය.
2. ආහාරපානයෙනුත්, වස්ත්‍ර සයනාසනයෙනුත් පුදන්නේ ය. තම දෙමව්පියන්ගේ ඇඟ උලා නහවා දෙපා සෝදා උවටැන් කරන්නේ ය.
3. මව්පියන් විෂයෙහි කරනු ලබන ඒ ඇප උපස්ථානයන් හේතුවෙන් නැණවත්හු ඔහුට මෙහිදී ම ප්‍රශංසා කරති. පරලොව සුගතියට ගොස් වඩාත් සතුටට පත්වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සබ්‍රහ්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M