අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.2.2. අනණ සුත්තං

4.2.2.2. ණය නැති ජීවිතය ගැන වදාළ දෙසුම

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, පංචකාමයන් පරිභෝග කරන ගිහියා විසින් කලින් කලට අවස්ථානුකූල ව සැප සතරක් ලැබිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්;

අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ හා අනවජ්ජ සුඛය යි.

1. ගෘහපතිය, අත්ථි සුඛ යනු කුමක් ද? ගෘහපතිය, මෙහිලා කුලපුත්‍රයෙකු හට නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ඇත්තේ වෙයි. හේ මෙසේ සිතයි. ‘මා විසින් උපයා සපයා ගන්නා ලද්දේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ය.’ එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය අත්ථි සුඛ යැයි කියනු ලැබේ.

2. ගෘහපතිය, භෝග සුඛ යනු කුමක් ද? ගෘහපතිය, මෙහිලා කුලපුත්‍රයෙකු හට නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ඇත්තේ වෙයි. ඔහු ඒ සම්පත් පරිභෝග කරයි. පින් ද කරයි. එවිට ඔහු මෙසේ සිතයි. ‘මා විසින් උපයා සපයා ගන්නා ලද්දේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් ය. මම ඒවා ප්‍රයෝජනයට ගනිමි. පින් ද කරමි’යි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය භෝග සුඛ යැයි කියනු ලැබේ.

3. ගෘහපතිය, අනණ සුඛ යනු කුමක් ද? ගෘහපතිය, කුලපුත්‍ර තෙමේ වෙනත් කිසිවෙකුට හෝ ස්වල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් හෝ කිසි ණයක් නැත්තේ වෙයි. එවිට ඔහු මෙසේ සිතයි. ‘මම ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ ණයක් කාටවත් ම නැත්තෙමි’ යි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය අනණ සුඛ යැයි කියනු ලැබේ.

4. ගෘහපතිය, අනවජ්ජ සුඛ යනු කුමක්ද? ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා නිවැරදි වූ කායික ක්‍රියාවෙන් යුක්ත වෙයි. නිවැරදි වූ වචන භාවිතයෙන් යුක්ත වෙයි. නිවැරදි වූ මානසික කල්පනාවන්ගෙන් යුක්ත වෙයි. එවිට හෙතෙමේ ‘මම කයින් නිවැරදි ක්‍රියා කරන්නෙක්මි. මම වචනය නිවැරදි ලෙස යොදන්නෙක්මි. මම මනසින් යහපත් කල්පනා ඇත්තෙක්මි’ යි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳියි. ගෘහපතිය, මෙය අනවජ්ජ සුඛ යැයි කියනු ලැබේ.

ගෘහපතිය, පංචකාමයන් පරිභෝග කරන ගිහියා විසින් කලින් කලට අවස්ථානුකූල ව ලබන සැප සතර මේවා ය.

(ගාථා)

1. ණය නැතිකමින් උපදින සැපය දැන ඉක්බිති ධන සම්පත් තමා තුළ ඇති බැවින් ලද සැපත සිහි කරන්නේ ය. ධන සම්පත් නිසි ලෙස පරිහරණය කිරීමෙන් සැපය විඳින මනුෂ්‍ය තෙමේ එය නුවණින් විමසා බලන්නේ ය.

2. යහපත් නුවණැති ඒ මිනිසා එසේ නුවණින් විමසා බලන්නේ එය දෙපරිද්දෙන් දකියි. එනම් මෙහි සතර වැනි වූ යම් අනවජ්ජ සුඛයක් ඇද්ද, එයින් ලැබෙන සැපයෙන් සොළොස් කලාවෙන් එකක් වත් කලින් ලැබෙන සැප තුනෙහි නැත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

අනණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M