අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.5.8. විශාඛ සුත්තං

4.1.5.8. විශාඛ තෙරුන්ට වදාළ දෙසුම

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි පංචාලිපුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන් හට වැදගත් වචනයෙන් යුතු, ගලා බස්නා අයුරු ඇති, දොස් රහිත වූ, අර්ථ මතුවෙන, නිවන් පිණිස වූ, සසර පිණිස නොවූ ධර්ම කථායෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. උනන්දු කරවයි. සිත සතුටු කොට පහදවයි.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාව වෙත වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන් හට වැදගත් වචනයෙන් යුතු, ගලා බස්නා අයුරු ඇති, දොස් රහිත වූ, අර්ථ මතුවෙන, නිවන් පිණිස වූ, සසර පිණිස නොවූ ධර්ම කථායෙන් කරුණු දැක්වූයේ, සමාදන් කරවූයේ, උනන්දු කරවූයේ, සිත සතුටු කොට පැහැදවූයේ කවරෙක් ද?”

“ස්වාමීනී, මේ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන් හට වැදගත් වචනයෙන් යුතු, ගලා බස්නා අයුරු ඇති, දොස් රහිත වූ, අර්ථ මතුවෙන, නිවන් පිණිස වූ, සසර පිණිස නොවූ ධර්ම කථායෙන් කරුණු දැක්වූවෝ, සමාදන් කරවූවෝ, උනන්දු කරවූවෝ, සිත සතුටු කොට පැහැදවූවෝ පංචාලි බැමිණියගේ පුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ ය.”

එවිට භාග්‍යවතුන් වහන්සේ පංචාලිපුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරුන් හට මෙය වදාළ සේක. “සාදු! සාදු! විශාඛයෙනි, සාදු! විශාඛයෙනි, ඔබ වැදගත් වචනයෙන් යුතු, ගලා බස්නා අයුරු ඇති, දොස් රහිත වූ, අර්ථ මතුවෙන, නිවන් පිණිස වූ, සසර පිණිස නොවූ ධර්ම කථායෙන් කරුණු දක්වන්න. සමාදන් කරවන්න. උනන්දු කරවන්න. සිත සතුටු කොට පහදවන්න.”

(ගාථා)

1. නුවණැත්තෝ බාලයන් හා මිශ්‍ර ව කියන කථාවන් නොදනිති. අමා නිවන් පදය නම් වූ ධර්මය දෙසන කල්හී දනිති.

2. ධර්මය දේශනා කරන්නේ ය. සසුන බබුළුවන්නේ ය. බුද්ධාදී ඍෂිවරුන්ගේ ධජය වූ ධර්මය උඩට ඔසොවන්නේ ය. බුද්ධාදී ඍෂිවරයෝ සුභාෂිත ධර්මය ධජය කොට ඇත්තාහ. ධර්මය වනාහී බුද්ධාදී ඍෂිවරුන්ගේ ධජය යි.

සාදු! සාදු!! සාදු!!!

විසාඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M