එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී රෝහිතස්ස දිව්‍යපුත්‍ර තෙමේ මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් මුළු ජේතවනය බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි රෝහිතස්ස දිව්‍යපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, යම් තැනක නූපදින්නේ නම්, නොදිරන්නේ නම්, නොමැරෙන්නේ නම්, චුත නොවන්නේ නම්, යළි නූපදින්නේ නම්, ස්වාමීනී, පියවි ගමනින් ලෝකයෙහි එම කෙළවර දැනගැනීමට හෝ දැකගැනීමට හෝ පැමිණීමට හෝ හැකිවෙයි ද?”
“ආයුෂ්මත, යම් තැනක නූපදින්නේ නම්, නොදිරන්නේ නම්, නොමැරෙන්නේ නම්, චුත නොවන්නේ නම්, යළි නූපදින්නේ නම්, මම ඒ ලෝකයාගේ කෙළවර පියවි ගමනින් ගොස් දැනගත යුත්තේ ය කියා හෝ දැකගත යුත්තේ ය කියා හෝ පැමිණිය යුත්තේ ය කියා හෝ නොකියමි.”
“ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ පවසන ලද්දේ සුභාෂිතයක් ම ය. එනම් ‘ආයුෂ්මත, යම් තැනක නූපදින්නේ නම්, නොදිරන්නේ නම්, නොමැරෙන්නේ නම්, චුත නොවන්නේ නම්, යළි නූපදින්නේ නම්, මම ඒ ලෝකයාගේ කෙළවර පියවි ගමනින් ගොස් දැනගත යුත්තේ ය කියා හෝ දැකගත යුත්තේ ය කියා හෝ පැමිණිය යුත්තේ ය කියා හෝ නොකියමි’ යන කරුණ යි.
ස්වාමීනී, මම පෙර සිදු වූ දෙයක් කියමි. එකල මම භෝජ පුත්‍ර වූ රෝහිතස්ස නමින් ඉර්ධිමත් වූ අහසින් යා හැකි ඍෂිවරයෙක් ව සිටියෙමි. ඉතින් ස්වාමීනී, ඒ මට මෙබඳු වූ ජවයක් තිබුණේ ය. එනම් ඉතා දක්ෂ ලෙස පුහුණුව ලැබූ, ධනුශිල්පයෙහි මැනැවින් හික්මුණු, කෘතහස්ත, මැනැවින් කළ දුනු ශිල්ප ඇති, සැහැල්ලු ඊතලයකින්, සුළු වෙහෙසකින් තල කොළයක් සැණෙකින් සිදුරු කරගෙන යයි ද, එබඳු වූ වේගවත් ජවයක් තිබුණේ ය.
පෙරදිග මුහුදින් බටහිර මුහුදට යම් දුරක් තිබුණේ ද, එබඳු වූ දුරක් පියවර මාරු කිරීමෙන් යා හැකි විය. ස්වාමීනී, මෙබඳු ජවයකින් සමන්විත වූ, මෙබඳු පියවර මාරු කිරීමකින් යුක්ත වූ මට මෙබඳු ආශාවක් හටගත්තේ ය. එනම් ‘මම පියවි ගමනින් ලෝකයෙහි කෙළවරට පැමිණෙන්නෙමි’ යි යන කරුණ යි.
ඉතින් ස්වාමීනි, ඒ මම කෑම්බීම් ආදිය ගන්නා කාලය හැර, වැසිකිලි කැසිකිලි කරන කාලය හැර, නිදාගැනීම් කායික පීඩා වෙහෙස දුරු කරගන්නා කාලය හැර, වසර සියයක් ආයුෂ ඇති ව සිටි මම ඒ සියක් අවුරුද්ද පුරා යන්නේ ම ලෝකයෙහි කෙළවරට නොගොස් අතරමග දී කළුරිය කළෙමි.
ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ පවසන ලද්දේ සුභාෂිතයක් ම ය. එනම් ‘ආයුෂ්මත, යම් තැනක නූපදින්නේ නම්, නොදිරන්නේ නම්, නොමැරෙන්නේ නම්, චුත නොවන්නේ නම්, යළි නූපදින්නේ නම්, මම ඒ ලෝකයාගේ කෙළවර පියවි ගමනින් ගොස් දැනගත යුත්තේ ය කියා හෝ දැකගත යුත්තේ ය කියා හෝ පැමිණිය යුත්තේ ය කියා හෝ නොකියමි’ යන කරුණ යි”
“ආයුෂ්මත, යම් තැනක නූපදින්නේ නම්, නොදිරන්නේ නම්, නොමැරෙන්නේ නම්, චුත නොවන්නේ නම්, යළි නූපදින්නේ නම්, මම ඒ ලෝකයාගේ කෙළවර පියවි ගමනින් ගොස් දැනගත යුත්තේ ය කියා හෝ දැකගත යුත්තේ ය කියා හෝ පැමිණිය යුත්තේ ය කියා හෝ නොකියමි. ආයුෂ්මත, ලෝකයෙහි කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීමක් ද නොකියමි. එනමුදු ආයුෂ්මත, මේ සංඥාව සහිත වූ, මනස සහිත වූ බඹයක් පමණ වූ ජීවිතය තුළ මම ලෝකය ත් පණවමි. ලෝකයෙහි හටගැනීම ත් පණවමි. ලෝකයෙහි නිරුද්ධ වීම ත් පණවමි. ලෝකය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ත් පණවමි.”
(ගාථා)
1. කවර කාලයකවත් පියවි ගමනින් ලෝකයෙහි කෙළවරකට යා නොහැක්කේ ය. ලෝකයෙහි කෙළවර වූ නිවනට නොපැමිණ දුකෙන් මිදීමක් ද නැත්තේ ය.
2. එහෙයින් ලෝකය අවබෝධ කළ, ප්‍රඥා සම්පන්න වූ, බඹසර වාසය නිම කළ භික්ෂුව ලොව කෙළවරට ගියේ ය. ඒකාන්තයෙන් ම ලොවෙහි අන්තය දත් ඒ අරහත් භික්ෂුව මෙලොව හෝ පරලොව හෝ නොපතන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පඨම රෝහිතස්ස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M