අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.5.1. සමාධිභාවනා සුත්තං

4.1.5.1. සමාධිය දියුණු කිරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය…….

මහණෙනි, මේ සමාධි භාවනා සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතයේ සැප සේ ගත කළ හැක්කේ ය.

මහණෙනි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට දිවැස් නුවණ ලැබීම පිණිස පවතින්නේ ය.

මහණෙනි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ වැඩීම පිණිස පවතින්නේ ය.

මහණෙනි, සමාධි භාවනාවක් ඇත්තේ ය. එය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතින්නේ ය.

1. මහණෙනි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතයේ සැප සේ ගත කළ හැකි සමාධි භාවනාව කුමක් ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි.

මහණෙනි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට මේ ජීවිතයේ සැප සේ ගත කළ හැකි සමාධි භාවනාව යනු මෙය යි.

2. මහණෙනි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට දිවැස් නුවණ ලැබීම පිණිස පවතින සමාධි භාවනාව කුමක් ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව ආලෝක සංඥාව මෙනෙහි කරයි. දහවල් යන සංඥාව අදිටන් කරයි. දහවල් කාලය යම් සේ ද, රෑ කාලය ත් එසේ ය. රෑ කාලය යම් සේ ද, දහවල් කාලය ත් එසේ ය. මෙසේ ප්‍රකට වූ හාත්පස පැතිරී ගිය ආලෝකය සහිත ව සිත වඩයි.

මහණෙනි, මේ සමාධි භාවනාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට දිවැස් නුවණ ලැබීම පිණිස පවතියි.

3. මහණෙනි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ වැඩීම පිණිස පවතින සමාධි භාවනාව කුමක් ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව හට විඳීම් ප්‍රකට ව හටගනියි. ප්‍රකට ව වැටහෙයි. ප්‍රකට ව නැති වී යයි. සංඥාව ප්‍රකට ව හටගනියි. ප්‍රකට ව වැටහෙයි. ප්‍රකට ව නැති වී යයි. විතර්කයන් ප්‍රකට ව හටගනියි. ප්‍රකට ව වැටහෙයි. ප්‍රකට ව නැති වී යයි.

මහණෙනි, මේ සමාධි භාවනාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට සිහි නුවණ ලැබීම පිණිස පවතියි.

4. මහණෙනි, දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතින සමාධි භාවනාව කුමක් ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැතිවීම ත් නුවණින් දකිමින් වාසය කරයි. එනම් රූපය යනු මෙය යි. රූපයෙහි හටගැනීම යනු මෙය යි. රූපය නැති වී යාම යනු මෙය යි. විඳීම යනු මෙය යි. විඳීමෙහි හටගැනීම යනු මෙය යි. විඳීම නැති වී යාම යනු මෙය යි. සංඥාව යනු මෙය යි. සංඥාවෙහි හටගැනීම යනු මෙය යි. සංඥාව නැති වී යාම යනු මෙය යි. සංස්කාර යනු මෙය යි. සංස්කාරයන්හි හටගැනීම යනු මෙය යි. සංස්කාරයන් නැති වී යාම යනු මෙය යි. විඤ්ඤාණය යනු මෙය යි. විඤ්ඤාණයෙහි හටගැනීම යනු මෙය යි. විඤ්ඤාණය නැති වී යාම යනු මෙය යි.

මහණෙනි, මේ සමාධි භාවනාව දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පවතියි.

මහණෙනි, මේ වනාහී සමාධි භාවනා සතර යි. මහණෙනි, ඔය කාරණය මවිසින් පාරායණ වර්ගයෙහි පුණ්ණක ප්‍රශ්නයෙහි දී පවසන ලද්දේ ය.

(ගාථා)

1. ලෝකයෙහි ඇති උසස් වූ ත්, පහත් වූ ත් දේ නුවණින් විමසා දැන ලෝකයෙහි කිසිවක් කෙරෙහි කම්පා වීමක් නැද්ද, ශාන්ත වූ ක්‍රෝධ රහිත වූ දුක් රහිත වූ ආශා රහිත වූ ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව උපදින දිරන ලෝකයෙන් එතෙර වූයේ යැයි කියමි.

සාදු! සාදු!! සාදු!!!

සමාධි භාවනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M