අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.3.8. අරියවංස සුත්තං

4.1.3.8. අරියවංස ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

“චත්තාරෝමේ, භික්ඛවේ, අරියවංසා අග්ගඤ්ඤා රත්තඤ්ඤා, වංසඤ්ඤා, පෝරාණා, අසංකිණ්ණා, අසංකිණ්ණපුබ්බා, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පතිකුට්ඨා සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි. කතමේ චත්තාරෝ?

මහණෙනි, මේ අරියවංස ප්‍රතිපදාවෝ සතරකි. මෙම අරියවංස ප්‍රතිපදාව අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි. ඒ කවර සතරක් ද යත්;

ඉධ, භික්ඛවේ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච චීවරහේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣෝපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති; තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නේවත්තානුක්කංසේති. නෝ පරං වම්භේති. යෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති, භික්ඛවේ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද සිවුරකින් සතුටු වෙයි. ලද සිවුරකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. සිවුරක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. සිවුරක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. සිවුරක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද සිවුරෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද සිවුරෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

“පුන ච පරං, භික්ඛවේ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන පිණ්ඩපාතේන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච පිණ්ඩපාතහේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච පිණ්ඩපාතං අගථථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති; තාය ච පන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා නේවත්තානුක්කංසේති, නෝ පරං වම්භේති. සෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති, භික්ඛවේ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ.

2. තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් සතුටු වෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. ආහාරයක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

“පුන ච පරං, භික්ඛවේ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන, ඉතරීතරසේනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සේනාසනහේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච සේනාසනං න පරිතස්සති, ලද්ධා ච සේනාසනං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති; තාය ච පන ඉතරීතරසේනාසනසන්තුට්ඨියා නේවත්තානුක්කංසේති, නෝ පරං වම්භේති. සෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති, භික්ඛවේ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ.

3. තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද නවාතැනකින් සතුටු වෙයි. ලද නවාතැනකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. නවාතැනක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. නවාතැනක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. නවාතැනක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද නවාතැනෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද නවාතැනෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

“පුන ච පරං භික්ඛවේ, භික්ඛු භාවනාරාමෝ හෝති භාවනාරතෝ, පහානාරාමෝ හෝති පහානරතෝ; තාය ච පන භාවනාරාමතාය භාවනාරතියා පහානාරාමතාය පහානරතියා නේවත්තානුක්කංසේති, නෝ පරං වම්භේති. සෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති, භික්ඛවේ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ.

4. තව ද මහණෙනි, භික්ෂුව භාවනාවට ආශා කරන්නේ වෙයි. භාවනාවෙහි ඇලුණේ වෙයි. කෙලෙස් ප්‍රහාණයට ආශා කරන්නේ වෙයි. කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුණේ වෙයි. භාවනාවට ආශා කිරීම, භාවනාවෙහි ඇලී සිටීම, කෙලෙස් ප්‍රහාණයට ආශා කිරීම, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලී සිටීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව එම කරුණෙහි දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

ඉමේ ඛෝ, භික්ඛවේ, චත්තාරෝ අරියවංසා අග්ගඤ්ඤා, රත්තඤ්ඤා, වංසඤ්ඤා, පෝරාණා, අසංකිණ්ණා, අසංකිණ්ණපුබ්බා, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨා සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි.

මහණෙනි, මේ වනාහී අරියවංස ප්‍රතිපදාවෝ සතරයි. මෙම අරියවංස ප්‍රතිපදාව අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.

“ඉමේහි ච පන, භික්ඛවේ, චතූහි අරියවංසේහි සමන්නාගතෝ භික්ඛු පුරත්ථිමාය චේපි දිසාය විහරති ස්වේව අරතිං සහති, න තං අරති සහති; පච්ඡිමාය චේපි දිසාය විහරති, ස්වේව අරතිං සහති, න තං අරති සහති; උත්තරාය චේපි දිසාය විහරති, ස්වේව අරතිං සහති, න තං අරති සහති; දක්ඛිණාය චේපි දිසාය විහරති, ස්වේව අරතිං සහති, න තං අරති සහති. තං කිස්ස හේතු? අරතිරතිසහෝ හි, භික්ඛවේ, ධීරෝ”ති.

මහණෙනි, මේ සතර අරියවංශ ධර්මයෙන් යුක්ත වූ භික්ෂුව පෙරදිග දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. බටහිර දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. උතුරු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. දකුණු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. එයට හේතුව කුමක්ද? ඒ නුවණැති භික්ෂුව භාවනාවෙහි අරතිය ත්, කාමයෙහි රතිය ත් මැඩලීමට හැකියාව ඇති නිසාවෙනි.

(ගාථා)

“නාරති සහති වීරං නාරති වීරසංහති;
ධීරෝ ව අරතිං සහති, ධීරෝ හි අරතිං සහෝ.

වීර පුද්ගලයා ව අරතිය විසින් නොමඩිනු ලැබේ. අරතිය යනු වීරයා ව යටපත් නොකරන දෙයකි. වැලිදු නුවණින් එඩිතර වූ තැනැත්තා අරතිය මැඩලයි. නුවණින් එඩිතර තැනැත්තා වනාහී අරතිය මැඩලන්නෙකි.

“සබ්බකම්මවිහායීනං පනුන්නං කෝ නිවාරයේ;
නෙක්ඛං ජම්බෝනදස්සේව, කෝ තං නින්දිතුමරහති;
දේවාපි නං පසංසන්ති, බ්‍රහ්මුනාපි පසංසිතෝ”ති.

සියළු කර්මයන් අත්හැර සිටිනා කෙලෙස් දුරැලූ රහතන් වහන්සේලාගේ විමුක්තිය කවරෙක් නම් වළකයි ද? දඹරන් නිකක් සෙයින් බබලන ඒ රහතුන්ට ගරහන්නට කවුරුන්ට හැකිවෙයි ද? දෙවියෝ පවා ඔහුට පසසත්. බ්‍රහ්මරාජයා විසිනුත් පසසනු ලදදේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අරියවංස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M