මහණෙනි, යම් ඒ භික්ෂූහු කුහක වෙත් ද, ක්‍රෝධයෙන් යුතුව අවවාදයට නොනැමී සිටිත් ද, චාටු බස් කියත් ද, දැඩි මාන්නයෙන් සිටිත් ද, තමා හුවා දක්වත් ද, ඔසොවා ගත් කෙලෙස් අං ඇද්ද, අසමාහිත සිත් ඇතුව සිටිත් ද, මහණෙනි, ඒ භික්ෂූහු මා උදෙසා පැවිදි වූ මා අයත් සඟ පිරිස නොවෙති. මහණෙනි, ඒ භික්ෂූහු මේ ධර්ම විනයෙහි බැහැර ව ගියාහු ය. මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, වැඩිදියුණුවක්, විපුල බවක් අත්පත් කර නොගනිති.
මහණෙනි, යම් ඒ භික්ෂූහු කුහක නොවෙත් ද, චාටු බස් නොපවසත් ද, නුවණ ඇති ව සිටිත් ද, අවවාදයට නැමී සිටිත් ද, මැනැවින් එකඟ වූ සිත් ඇද්ද, ඔවුහු මා උදෙසා පැවිදි වූ, මා අයත් භික්ෂූහු ය. මහණෙනි, ඒ භික්ෂූහු මේ ධර්ම විනයෙහි බැහැර ව නොගියාහු ය. මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක්, වැඩිදියුණුවක්, විපුල බවක් අත්පත් කරගනිති.
(ගාථා)
කුහක වූ, මාන්නයෙන් දැඩි වූ, චාටු බස් පවසන්නා වූ, කෙලෙස් අං ඇති, සිතට ගත් මාන්නයෙන් යුතු, එකඟ සිත් නැති, යම් භික්ෂූහු සිටිත් ද, ඔවුහු සම්මා සම්බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්මයෙහි දියුණුවක් නොලබති.
කුහක බවින් තොර වූ, චාටු බස් නොපවසන, නුවණැති, මොලොක් ගතිගුණ ඇති, මැනැවින් එකඟ වූ සිත් ඇති යම් භික්ෂූහු වෙත් ද, ඔවුහු ඒකාන්තයෙන් සම්මා සම්බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්මයෙහි දියුණුව ලබති.
සාදු! සාදු!! සාදු!!!
කුහක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M