අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.2.10. භත්තුද්දේසක සුත්තං

4.1.2.10. දන් පිළිගැනීමට පිරිස යොමු කරන භික්ෂුව ගැන වදාළ දෙසුම

“චතූහි, භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ භත්තුද්දේසකෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. කතමේහි චතූහි?

මහණෙනි, කරුණු සතරකින් යුක්ත වූ භික්ෂුවක් දන් පිළිගැනීම පිණිස සංඝයා යොමු කරයි ද, හේ ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන අයුරින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු සතරකින් ද?

ඡන්දාගතිං ගච්ඡති, දෝසාගතිං ගච්ඡති, මෝහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.

කැමැත්ත හේතුවෙන් අගතියට යයි. ද්වේෂය හේතුවෙන් අගතියට යයි. මුලාව හේතුවෙන් අගතියට යයි. භය හේතුවෙන් අගතියට යයි.

ඉමේහි ඛෝ, භික්ඛවේ, චතූහි ධම්මේහි සමන්නාගතෝ භත්තුද්දේසකෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

මහණෙනි, මේ කරුණු සතරින් යුක්ත වූ භික්ෂුවක් දන් පිළිගැනීම පිණිස සංඝයා යොමු කරයි ද, හේ ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන අයුරින් නිරයෙහි උපදින්නේ ය.

“චතූහි, භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ භත්තුද්දේසකෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ. කතමේහි චතූහි?

මහණෙනි, කරුණු සතරකින් යුක්ත වූ භික්ෂුවක් දන් පිළිගැනීම පිණිස සංඝයා යොමු කරයි ද, හේ ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන අයුරින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු සතරකින් ද?

න ඡන්දාගතිං ගච්ඡති, න දෝසාගතිං ගච්ඡති, න මෝහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති.

කැමැත්ත හේතුවෙන් අගතියට නොයයි. ද්වේෂය හේතුවෙන් අගතියට නොයයි. මුලාව හේතුවෙන් අගතියට නොයයි. භය හේතුවෙන් අගතියට නොයයි.

ඉමේහි ඛෝ, භික්ඛවේ, චතූහි ධම්මේහි සමන්නාගතෝ භත්තුද්දේසකෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ”ති.

මහණෙනි, මේ කරුණු සතරින් යුක්ත වූ භික්ෂුවක් දන් පිළිගැනීම පිණිස සංඝයා යොමු කරයි ද, හේ ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන අයුරින් සුගතියෙහි උපදින්නේ ය.

“යේ කේචි කාමේසු අසඤ්ඤතා ජනා,
අධම්මිකා හොන්ති අධම්මගාරවා;
ඡන්දා දෝසා මෝහා ච භයා ච ගාමිනෝ
පරිසක්කසාවෝ ච පනේස වුච්චති
ඒවඤ්හි වුත්තං සමණේන ජානතා

යම් ජනතාවක් කාමයෙහි අසංවර ව සිටිත් ද, අධාර්මික ව සිටිත් ද, ධර්ම ගෞරව නැතුව සිටිත් ද, කැමැත්තෙනුත්, ද්වේෂයෙනුත්, භයෙනුත්, අගතියට යත් ද, මෙබඳු පිරිස අතරෙහි සිටින මේ භත්තුද්දේසක තෙමේ පිරිස් කසටයෙක් යැයි කියනු ලැබේ. මෙසේ වදාරණ ලද්දේ සියල්ල දන්නා වූ තථාගත ශ්‍රමණයන් වහන්සේ විසිනි.

තස්මා හි තේ සප්පුරිසා පසංසියා;
ධම්මේ ඨිතා යේ න කරොන්ති පාපකං,
න ඡන්දදෝසා න භයා ච ගාමිනෝ
පරිසාය මණ්ඩෝ ච පනේස වුච්චති,
ඒවං හි වුත්තං සමණේන ජානතා”ති.

යම් ජනතාවක් ධර්මයෙහි සිටියාහු ද, පව් නොකරත් ද, කැමැත්තෙන් හෝ ද්වේෂයෙන් හෝ භයෙන් හෝ අගතියට නොයත් ද, එහෙයින් ඒ සත්පුරුෂයෝ පැසසිය යුත්තෝ ය. එබඳු පිරිස අතරෙහි සිටින භත්තුද්දේසක තෙමේ උතුම් තැනැත්තා යැයි කියනු ලැබේ. මෙසේ වදාරණ ලද්දේ සියල්ල දන්නා වූ තථාගත ශ්‍රමණයන් වහන්සේ විසිනි.

භත්තුද්දේසක සූත්‍රය නිමා විය.

චරවග්ගෝ දුතියෝ.

දෙවෙනි චර වර්ගය අවසන් විය.

තස්සුද්දානං –

එහි පිළිවෙල උද්දානයයි :

චරං සීලං පධානානි, සංවර පඤ්ඤත්ති පඤ්චමං;
සෝඛුම්මං තයෝ අගති භත්තුද්දේසේන තේ දසාති.

චර සූත්‍රය, සීල සූත්‍රය, පධාන සූත්‍රය, සංවර සූත්‍රය, පඤ්ඤත්ති සූත්‍රය, සෝඛුම්ම සූත්‍රය, අගති සූත්‍ර තුන සහ භත්තුද්දේසක සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M