අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.1.1. අනුබුද්ධ සුත්තං

4.1.1.1. අවබෝධ කරන ලද දෙය ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං – ඒකං සමයං භගවා වජ්ජීසු විහරති භණ්ඩගාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි – “භික්ඛවෝ”ති. “භදන්තේ”ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච –

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ වජ්ජී ජනපදයෙහි භණ්ඩ නම් ගමෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“චතුන්නං, භික්ඛවේ, ධම්මානං අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. කතමේසං චතුන්නං? අරියස්ස, භික්ඛවේ, සීලස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. අරියස්ස, භික්ඛවේ, සමාධිස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. අරියාය, භික්ඛවේ, පඤ්ඤාය අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච . අරියාය, භික්ඛවේ, විමුත්තියා අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චේව තුම්හාකඤ්ච. තයිදං, භික්ඛවේ, අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං, අරියෝ සමාධි අනුබුද්ධෝ පටිවිද්ධෝ, අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා, අරියා විමුත්ති අනුබුද්ධා පටිවිද්ධා, උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති, නත්ථි දානි පුනබ්භවෝ”ති.

“මහණෙනි, මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් ඔබට ත්, මට ත් සැරිසරා යන්නට සිදුවූයේ සතර ධර්මයක් අවබෝධ නොකිරීම නිසා ය. නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා ය. ඒ කවර සතර ධර්මයක් ද යත්;

මහණෙනි, ආර්ය වූ සීලය අවබෝධ නොකිරීම නිසා ය, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා ය, මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් ඔබට ත්, මට ත් සැරිසරා යන්නට සිදුවූයේ.

මහණෙනි, ආර්ය වූ සමාධිය අවබෝධ නොකිරීම නිසා ය, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා ය, මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් ඔබට ත්, මට ත් සැරිසරා යන්නට සිදුවූයේ.

මහණෙනි, ආර්ය වූ ප්‍රඥාව අවබෝධ නොකිරීම නිසා ය, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා ය, මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් ඔබට ත්, මට ත් සැරිසරා යන්නට සිදුවූයේ.

මහණෙනි, ආර්ය වූ විමුක්තිය අවබෝධ නොකිරීම නිසා ය, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා ය, මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් ඔබට ත්, මට ත් සැරිසරා යන්නට සිදුවූයේ.

මහණෙනි, ඒ ආර්ය වූ සීලය අවබෝධ කරගන්නට ත්, නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ත් පුළුවන් විය. ආර්ය වූ සමාධිය අවබෝධ කරගන්නට ත්, නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ත් පුළුවන් විය. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ කරගන්නට ත්, නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ත් පුළුවන් විය. ආර්ය වූ විමුක්තිය අවබෝධ කරගන්නට ත්, නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ත් පුළුවන් විය. භව තෘෂ්ණාව සිඳින ලද්දේ ය. භව රැහැන ක්ෂය වී ගියේ ය. දැන් අපට පුනර්භවයක් නැත්තේ ය.

ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා –

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ ශාස්තෘ වූ සුගතයන් වහන්සේ යළි ත් මෙය ද වදාළ සේක.

“සීලං සමාධි පඤ්ඤා ච, විමුත්ති ච අනුත්තරා;
අනුබුද්ධා ඉමේ ධම්මා, ගෝතමේන යසස්සිනා.

සීලය ත්, සමාධිය ත්, ප්‍රඥාව ත්, අනුත්තර වූ විමුක්තිය ත් යන මේ ආර්ය වූ ධර්මයන් විසිර ගිය යස ඝෝෂා ඇති ගෞතමයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී.

“ඉති බුද්ධෝ අභිඤ්ඤාය, ධම්මමක්ඛාසි භික්ඛුනං;
දුක්ඛස්සන්තකරෝ සත්ථා, චක්ඛුමා පරිනිබ්බුතෝ”ති.

මෙසේ බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වූ ඥානයෙන් පසක් කොට භික්ෂූන් හට ධර්මය දෙසූ සේක. සසර දුක් නිමාවට පත් කළ, සදහම් ඇස් ඇති ශාස්තෘන් වහන්සේ මුළුමනින් ම නිවීමට පත් වූ සේක.

අනුබුද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M