අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.3.1.

[කුසිනාරා නිදානං]

කුසිනාරා නුවරදී …..

ඒකං සමයං භගවා කුසිනාරායං විහරති බලිහරණේ වනසණ්ඩේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි ….(පෙ)….

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුසිනාරා නුවර බලිහරණ නම් කුඩා වනයේ. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා වදාළා ….(පෙ)….

ඉධ භික්ඛවේ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමේනං ගහපති වා ගහපතිපුත්තෝ වා උපසංකමිත්වා ස්වාතනාය භත්තේන නිමන්තේති. ආකංඛමානෝ භික්ඛවේ, භික්ඛු අධිවාසේති. සෝ තස්සා රත්තියා අච්චයේන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවේසනං තේනුපසංකමති. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදති. තමේනං සෝ ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේති සම්පවාරේති. තස්ස ඒවං හෝති: ‘සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේති සම්පවාරේතී’ති. ඒවම්පිස්ස හෝති: ‘අහෝ වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා ආයතිම්පි ඒවරූපේන පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පෙය්‍ය සම්පවාරෙය්‍යා’ති. සෝ තං පිණ්ඩපාතං ගථිතෝ මුච්ඡිතෝ අජ්ඣාපන්නෝ අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති. සෝ තත්ථ කාමවිතක්කම්පි විතක්කේති, බ්‍යාපාදවිතක්කම්පි විතක්කේති, විහිංසාවිතක්කම්පි විතක්කේති. ඒවරූපස්සාහං භික්ඛවේ, භික්ඛුනෝ දින්නං න මහප්ඵලන්ති වදාමි. තං කිස්ස හේතු? පමත්තෝ භික්ඛවේ, භික්ඛු විහරති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඒ භික්ෂුව කරා ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා පැමිණිලා හෙට දවසේ දානය පිණිස ආරාධනා කරනවා. පින්වත් මහණෙනි, එයට කැමැති භික්ෂුව ඒ ආරාධනාව පිළිගන්නවා. ඉතින් ඒ භික්ෂුව ඒ රාත්‍රිය ගෙවී ගියාට පසු පෙරවරුවේ සිවුරු පොරවා පාත්‍ර සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ නිවසට පැමිණෙනවා. පැමිණ පණවන ලද අසුනෙහි වැඩසිටිනවා. එතකොට ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත වූ වැළඳිය යුතු, අනුභව කළ යුතු ආහාරවලින් සියතින්ම පිළිගන්වනවා. තව තවත් පිළිගන්වනවා.

එතකොට ඒ භික්ෂුවට මෙහෙම හිතෙනවා. ‘සැබැවින්ම මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත වූ වැළඳිය යුතු වූ, අනුභව කළ යුතු ආහාරවලින් මාව හොඳින් වළඳවනවා. තවතවත් පිළිගන්වනවා. ඒක බොහොම හොඳයි’ කියලා. මේ විදිහටත් හිතනවා. ‘අනේ! සැබැවින්ම මේ ගෘහපතියා වේවා, ගෘහපති පුත්‍රයා වේවා ආයෙමත් මේ ආකාරයෙන් ප්‍රණීත වූ වැළඳිය යුතු, අනුභව කළ යුතු දේවල්වලින් ඔහු අතින්ම මාව වළඳවනවා නම්, තවතවත් පිළිගන්වනවා නම්, කොයිතරම් හොඳද’ කියලා. ඒ භික්ෂුව එම පිණ්ඩපාතය ගැන තණ්හාවෙන් ඇලුණු සිතින්, මුසපත් වූ සිතින්, එයින් මැඬගත් සිතින්, ආදීනව නොදකිමින්, එයින් නිදහස් වීම ගැන ප්‍රඥාවක් නැතිව වළඳනවා. ඒ නිසා ඔහු කාම විතර්කත් හිත හිතා ඉන්නවා. ව්‍යාපාද විතර්කත් හිත හිතා ඉන්නවා. විහිංසා විතර්කත් හිත හිතා ඉන්නවා. පින්වත් මහණෙනි, මෙබඳු භික්ෂුව හට දුන් දේ මහත්ඵල සහිතයි කියලා මා වදාරන්නේ නෑ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ප්‍රමාදීව වාසය කරනවා.

ඉධ පන භික්ඛවේ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමේනං ගහපති වා ගහපතිපුත්තෝ වා උපසංකමිත්වා ස්වාතනාය භත්තේන නිමන්තේති. ආකංඛමානෝ භික්ඛවේ, භික්ඛු අධිවාසේති. සෝ තස්සා රත්තියා අච්චයේන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවේසනං තේනුපසංකමති. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදති. තමේනං සෝ ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේති සම්පවාරේති. තස්ස න ඒවං හෝති: ‘සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේති සම්පවාරේතී’ති. ඒවම්පිස්ස න හෝති: ‘අහෝ වත මායං ගහපති වා ගහපතිපුත්තෝ වා ආයතිම්පි ඒවරූපේන පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පෙය්‍ය සම්පවාරෙය්‍යා’ති. සෝ තං පිණ්ඩපාතං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති. සෝ තත්ථ නෙක්ඛම්මවිතක්කම්පි විතක්කේති. අව්‍යාපාදවිතක්කම්පි විතක්කේති. අවිහිංසාවිතක්කම්පි විතක්කේති. ඒවරූපස්සාහං භික්ඛවේ, භික්ඛුනෝ දින්නං මහප්ඵලන්ති වදාමි. තං කිස්ස හේතු? අප්පමත්තෝ හි භික්ඛවේ, භික්ඛු විහරතීති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඒ භික්ෂුව කරා ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා පැමිණිලා හෙට දවසේ දානය පිණිස ආරාධනා කරනවා. පින්වත් මහණෙනි, එයට කැමැති භික්ෂුව ඒ ආරාධනාව පිළිගන්නවා. ඉතින් ඒ භික්ෂුව ඒ රාත්‍රිය ගෙවී ගියාට පසු පෙරවරුවේ සිවුරු පොරවා පාත්‍ර සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ නිවසට පැමිණෙනවා. පැමිණ පණවන ලද අසුනෙහි වැඩසිටිනවා. එතකොට ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත වූ වැළඳිය යුතු, අනුභව කළ යුතු ආහාරවලින් සියතින්ම පිළිගන්වනවා. තව තවත් පිළිගන්වනවා.

එතකොට ඒ භික්ෂුවට මෙහෙම හිතෙන්නෙ නෑ. ‘සැබැවින්ම මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත වූ වැළඳිය යුතු වූ, අනුභව කළ යුතු ආහාරවලින් මාව හොඳින් වළඳවනවා. තවතවත් පිළිගන්වනවා. ඒක බොහොම හොඳයි’ කියලා. ‘අනේ! සැබැවින්ම මේ ගෘහපතියා වේවා, ගෘහපති පුත්‍රයා වේවා ආයෙමත් මේ ආකාරයෙන් ප්‍රණීත වූ වැළඳිය යුතු, අනුභව කළ යුතු දේවල්වලින් ඔහු අතින්ම මාව වළඳවනවා නම්, තවතවත් පිළිගන්වනවා නම්, කොයිතරම් හොඳද’ කියලා මේ විදිහට හිතන්නෙත් නෑ. ඒ භික්ෂුව එම පිණ්ඩපාතය ගැන තණ්හාවෙන් නොඇලුණු සිතින්, මුසපත් නොවූ සිතින්, එයින් නොමැඬගත් සිතින්, ආදීනව දකිමින්, එයින් නිදහස් වීම ගැන ප්‍රඥාවෙන් යුතුව වළඳනවා. ඒ නිසා ඔහු නෙක්ඛම්ම විතර්කත් හිත හිතා ඉන්නවා. අව්‍යාපාද විතර්කත් හිත හිතා ඉන්නවා. අවිහිංසා විතර්කත් හිත හිතා ඉන්නවා. පින්වත් මහණෙනි, මෙබඳු භික්ෂුව හට දුන් දේ මහත්ඵල සහිතයි කියා මා වදාරනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව අප්‍රමාදීව වාසය කරනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M