අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.5.11.

52. පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති තුනක් සිහිපත් කළ යුතුයි. කලින් කල සමාධි නිමිත්ත සිහිපත් කළ යුතුයි. කලින් කල වීරිය උපදවන කරුණු සිහිපත් කළ යුතුයි. කලින් කල උපේක්ෂාව ඇතිවෙන කරුණු සිහිපත් කළ යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන් සමාධි නිමිත්ත පමණක් සිහිකරමින් සිටියොත් ඒ සිත කුසීත බවට වැටෙන්නේය යන කරුණට ඉඩ තියෙනවා.

ඉදින් පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන් වීරිය ඇතිවෙන කරුණු පමණක් සිහිකරමින් සිටියොත් ඒ සිත විසිරීමට වැටෙන්නේය යන කරුණට ඉඩ තියෙනවා.

ඉදින් පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන් උපේක්ෂා නිමිත්ත පමණක් සිහිකරමින් සිටියොත් ඒ සිත ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස මනාකොට සමාධිමත් නොවන්නේය යන කරුණට ඉඩ තියෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව කලින් කල සමාධි නිමිත්ත සිහිකරනවා නම්, කලින් කල වීරිය ඇතිවෙන නිමිත්ත සිහිකරනවා නම්, කලින් කල උපේක්ෂා නිමිත්ත සිහිකරනවා නම්, ඒ සිත මෘදුත් වෙනවා. කර්මණ්‍යත් (අදාළ කරුණට යෝග්‍ය පරිදි සකස්) වෙනවා. ප්‍රභාෂ්වරත් වෙනවා. බිඳීයන ස්වභාවයත් නැති වෙනවා. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. රන්කරුවෙක් වේවා, රන්කරුවෙකුගේ ගෝලයෙක් වේවා කෝවක් හදනවා. කෝවක් හදලා කෝවේ කටට ගින්දර අවුළුවනවා. කෝවේ කටේ ගින්දර අවුළුවලා, අඬුවෙන් රත්තරන් අරගෙන කෝවේ කටින් තියලා කලින් කල පිඹිනවා. කලින් කල ජලය ඉහිනවා. කලින් කල ඒ රන පැසුන නොපැසුන බව අවධානයෙන් සොයා බලනවා.

ඉදින් පින්වත් මහණෙනි, ඒ රන්කරුවා වේවා, රන්කරුවාගේ ගෝලයා වේවා ඒ රත්තරන් ටිකට ඒකාන්තයෙන් ගින්දර පිඹීම විතරක් කළොත්, ඒ රත්තරන් ටික පිච්චිලා යන එක තමයි සිද්ධ වෙන්නේ.

ඉදින් පින්වත් මහණෙනි, ඒ රන්කරුවා වේවා, රන්කරුවාගේ ගෝලයා වේවා ඒ රත්තරන් ටිකට ඒකාන්තයෙන්ම වතුර ඉසීම විතරක් කරනවා නම්, ඒ රත්තරන් ටික නිවිලා යන එක තමයි සිද්ධ වෙන්නේ.

ඉදින් පින්වත් මහණෙනි, ඒ රන්කරුවා වේවා, රන්කරුවාගේ ගෝලයා වේවා ඒ රත්තරන් ටික ගැන ඒකාන්තයෙන් අවධානයෙන් බලාගෙන සිටීම විතරක් කළොත් ඒ රත්තරන් ටික නියම ආකාරයෙන් පැසීමට පත්වෙන්නේ නැහැ කියන දේ තමයි සිද්ධ වෙන්නේ.

පින්වත් මහණෙනි, ඒ රන්කරුවා වේවා, රන්කරුවාගේ ගෝලයා වේවා ඒ රත්තරන් ටිකට කලින් කල ගින්දර පිඹිනවා නම්, කලින් කල ජලයත් ඉසිනවා නම්, කලින් කල අවධානයෙන් සොයා බලනවා නම්, අන්න එතකොට ඒ රත්තරන් ටික මෘදු මොළොක් වෙනවා. කර්මණ්‍යයත් වෙනවා. ප්‍රභාෂ්වරත් වෙනවා. නොබිඳෙන ස්වභාවයටත් පත්වෙනවා. රත්තරන්වලින් කරන වැඩවලට සුදුසු තත්වයටත් පත්වෙනවා. එතකොට රන්පටක් වේවා, කරාබු වේවා, තැලි වේවා, රන්මාල වේවා යම් යම් ආභරණ මෝස්තරයක් කැමැති වෙනවාද, ඒ ඕන දෙයක් තනාගන්න පුළුවන් වෙනවා.

අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති තුනක් සිහිපත් කළ යුතුයි. කලින් කල සමාධි නිමිත්ත සිහිපත් කළ යුතුයි. කලින් කල වීරිය උපදවන කරුණු සිහිපත් කළ යුතුයි. කලින් කල උපේක්ෂාව ඇතිවෙන කරුණු සිහිපත් කළ යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන් සමාධි නිමිත්ත පමණක් සිහිකරමින් සිටියොත් ඒ සිත කුසීත බවට වැටෙන්නේය යන කරුණට ඉඩ තියෙනවා.

ඉදින් පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන් වීරිය ඇතිවෙන කරුණු පමණක් සිහිකරමින් සිටියොත් ඒ සිත විසිරීමට වැටෙන්නේය යන කරුණට ඉඩ තියෙනවා.

ඉදින් පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව ඒකාන්තයෙන් උපේක්ෂා නිමිත්ත පමණක් සිහිකරමින් සිටියොත් ඒ සිත ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස මනා කොට සමාධිමත් නොවන්නේය යන කරුණට ඉඩ තියෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක ධ්‍යාන භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව කලින් කල සමාධි නිමිත්ත සිහිකරනවා නම්, කලින් කල වීරිය ඇතිවෙන නිමිත්ත සිහිකරනවා නම්, කලින් කල උපේක්ෂා නිමිත්ත සිහිකරනවා නම්, ඒ සිත මෘදුත් වෙනවා. කර්මණ්‍යත් වෙනවා. ප්‍රභාෂ්වරත් වෙනවා. බිඳීයන ස්වභාවයත් නැති වෙනවා. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා. එතකොට විශිෂ්ට ඤාණයකින් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයකට, විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත යොමුකරනවාද, ඒ ඒ ඤාණයන් උපදවා ගැනීමට අවස්ථාව උදා වූ කල්හි ඒ ඒ ඤාණයන් පිළිබඳව සාක්ෂාත් කිරීමෙහිලා පුළුවන්කමට පත්වෙනවා.

ඉදින් ඔහු කැමැති වෙනවා නම්, ‘මං අනේකවිධ වූ ඉර්ධි ප්‍රාතිහාර්යන් දක්වනවා නම් හොදයි’ කියලා, ….(පෙ)…. (මෙහි අභිඤ්ඤා හය ඇති වෙන සිත ගැන දත යුතුයි) (ඉදින් ඔහු කැමැති වෙනවා නම්,) ‘මං ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කරගෙන වාසය කරනවා නම් හොඳය’ කියලා ඒ ඒ ඤාණයන් උපදවා ගැනීමට අවස්ථාව උදා වූ කල්හි ඒ ඒ ඤාණයන් පිළිබඳව සාක්ෂාත් කිරීමෙහිලා පුළුවන්කමකට පත්වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

පස්වෙනි ලෝණඵල වර්ගයයි.

දෙවෙනි මහා පණ්ණාසකය සමාප්තයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M