11. සැවැත් නුවරදී…..
පින්වත් මහණෙනි, මේ ආගම් තුනක් තියෙනවා. නුවණැත්තන් විසින් ප්‍රශ්න කරද්දී, නැවත නැවතත් විමසද්දී, කරුණු පෙන්වා දෙද්දී, වෙන මතයක් දරන කෙනෙකුට ඔය දෘෂ්ටියක් ගියොත්, අකිරියවාදය (කර්මඵල විශ්වාස නොකිරීම) තුළ තමයි පිහිටන්නේ. ඒ ආගම් තුන මොනවාද? පින්වත් මහණෙනි, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම පෙර කරන ලද දෙයට අනුවයි සිදුවන්නේ’ කියලා. ඒ වගේම පින්වත් මහණෙනි, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම දෙවියන් වහන්සේ කෙනෙකුගේ මැවිල්ල හේතු කරගෙනයි සිදුවන්නේ’ කියලා. ඒ වගේම පින්වත් මහණෙනි, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම හේතු ප්‍රත්‍ය රහිතවයි සිදුවන්නේ’ කියලා.
පින්වත් මහණෙනි, මෙහිදී ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම පෙර කරන ලද දෙයට අනුවයි සිදුවන්නේ’ කියලා මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මා ඔවුන් වෙත එළැඹ මෙහෙමයි කියන්නේ. ‘එම්බා ආයුෂ්මත්වරුනි, තමුන්නාන්සේලා මේ විදිහේ වාදයක්, මේ විදිහේ දෘෂ්ටියක් දරනවා කියන්නේ හැබෑද? ඒ කියන්නේ ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම පෙර කරන ලද දෙයට අනුවයි සිදුවන්නේ’ කියලා. මා විසින් මේ විදිහට විමසද්දී “එසේය” කියලා ඔවුන් ප්‍රතිඥා දෙනවා. එතකොට මං ඔවුන්ට මෙහෙම කියනවා. “එම්බා ආයුෂ්මත්වරුනි, එසේ වී නම්, සතුන් මරන අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. සොරකම් කරන අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. අබ්‍රහ්මචාරී අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. බොරු කියන අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. කේලාම් කියන අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. පරුෂ වචන කියන අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. හිස් වචන කියන අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. අනුන් සතු දෙයට ආශා කරන අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. තරහ සිත් ඇති අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි. මිථ්‍යා දෘෂ්ටික අය ඇතිවන්නේ පෙර කරන ලද කර්මානුරූපවයි.”
පින්වත් මහණෙනි, පෙර කළ කර්මයෙන් සියල්ල වෙනවා යන මතය හරයක් වශයෙන් පිළිගත් කෙනෙකුට ‘මෙය කළ යුතුයි. මෙය නොකළ යුතුයි’ යන කරුණ ගැන කැමැත්තක්වත්, උත්සාහයක්වත් ඇතිවෙන්නේ නෑ. ඉතින් ඔය විදිහට කළ යුතු නොකළ යුතු දෙය සත්‍යය වශයෙන් හැබෑවටම නොලැබෙන විට සිහි මුලාවෙලා, ආරක්ෂාවක් නැතුව වාසය කරන කෙනෙකුට තමා තුළ කරුණු සහිත වූ ශ්‍රමණ ජීවිතයක් ඇතිවෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය මතය දරන්නා වූ ඔය දෘෂ්ටිය දරන්නා වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මා විසින් කරනු ලබන කරුණු සහිත වූ පළමුවෙනි නිග්‍රහය මෙයයි.
පින්වත් මහණෙනි, මෙහිදී ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම දෙවියන් වහන්සේ කෙනෙකුගේ මැවිල්ල හේතු කරගෙනයි සිදුවන්නේ’ කියලා මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මා ඔවුන් වෙත එළැඹ මෙහෙමයි කියන්නේ. ‘එම්බා ආයුෂ්මත්වරුනි, තමුන්නාන්සේලා මේ විදිහේ වාදයක්, මේ විදිහේ දෘෂ්ටියක් දරනවා කියන්නේ හැබෑද? ඒ කියන්නේ ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම දෙවියන් වහන්සේ කෙනෙකුගේ මැවිල්ල හේතු කරගෙනයි සිදුවන්නේ’ කියලා. මා විසින් මේ විදිහට විමසද්දී “එසේය” කියලා ඔවුන් ප්‍රතිඥා දෙනවා. එතකොට මං ඔවුන්ට මෙහෙම කියනවා. “එම්බා ආයුෂ්මත්වරුනි, එසේ වී නම්, සතුන් මරන අය ඇතිවන්නේ දෙවියන් වහන්සේගේ මැවීම හේතු කරගෙනයි. ….(පෙ)…. මිථ්‍යා දෘෂ්ටික අය ඇතිවන්නේ දෙවියන් වහන්සේගේ මැවීම හේතු කරගෙනයි.”
පින්වත් මහණෙනි, දෙවියන් වහන්සේගේ මැවීම හේතු කරගෙන සියල්ල වෙනවා යන මතය හරයක් වශයෙන් පිළිගත් කෙනෙකුට ‘මෙය කළ යුතුයි. මෙය නොකළ යුතුයි’ යන කරුණ ගැන කැමැත්තක්වත්, උත්සාහයක්වත් ඇතිවෙන්නේ නෑ. ඉතින් ඔය විදිහට කළ යුතු නොකළ යුතු දෙය සත්‍යය වශයෙන් හැබෑවටම නොලැබෙන විට සිහි මුලාවෙලා, ආරක්ෂාවක් නැතුව වාසය කරන කෙනෙකුට තමා තුළ කරුණු සහිත වූ ශ්‍රමණ ජීවිතයක් ඇතිවෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය මතය දරන්නා වූ ඔය දෘෂ්ටිය දරන්නා වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මා විසින් කරනු ලබන කරුණු සහිත වූ දෙවෙනි නිග්‍රහය මෙයයි.
පින්වත් මහණෙනි, මෙහිදී ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම හේතු ප්‍රත්‍ය රහිතවයි සිදුවන්නේ’ කියලා මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවාද, මා ඔවුන් වෙත එළැඹ මෙහෙමයි කියන්නේ. ‘එම්බා ආයුෂ්මත්වරුනි, තමුන්නාන්සේලා මේ විදිහේ වාදයක්, මේ විදිහේ දෘෂ්ටියක් දරනවා කියන්නේ හැබෑද? ඒ කියන්නේ ‘මේ පුරුෂ පුද්ගලයා යම්කිසි සැපයක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යමක් විඳිනවා නම්, ඒ සෑම විඳීමක්ම හේතු ප්‍රත්‍ය රහිතවයි සිදුවන්නේ’ කියලා. මා විසින් මේ විදිහට විමසද්දී “එසේය” කියලා ඔවුන් ප්‍රතිඥා දෙනවා. එතකොට මං ඔවුන්ට මෙහෙම කියනවා. “එම්බා ආයුෂ්මත්වරුනි, එසේ වී නම්, සතුන් මරන අය ඇතිවන්නේ හේතු ප්‍රත්‍ය රහිතවයි. ….(පෙ)…. මිථ්‍යා දෘෂ්ටික අය ඇතිවන්නේ හේතු ප්‍රත්‍ය රහිතවයි.”
පින්වත් මහණෙනි, හේතු ප්‍රත්‍ය රහිතව සියල්ල වෙනවා යන මතය හරයක් වශයෙන් පිළිගත් කෙනෙකුට ‘මෙය කළ යුතුයි. මෙය නොකළ යුතුයි’ යන කරුණ ගැන කැමැත්තක්වත්, උත්සාහයක්වත් ඇතිවෙන්නේ නෑ. ඉතින් ඔය විදිහට කළ යුතු නොකළ යුතු දෙය සත්‍යය වශයෙන් හැබෑවටම නොලැබෙන විට සිහි මුලාවෙලා, ආරක්ෂාවක් නැතුව වාසය කරන කෙනෙකුට තමා තුළ කරුණු සහිත වූ ශ්‍රමණ ජීවිතයක් ඇතිවෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය මතය දරන්නා වූ ඔය දෘෂ්ටිය දරන්නා වූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මා විසින් කරනු ලබන කරුණු සහිත වූ තුන්වෙනි නිග්‍රහය මෙයයි.
පින්වත් මහණෙනි, ඔය ආගම් තුන තමයි තියෙන්නේ. නුවණැත්තන් විසින් ප්‍රශ්න කරද්දී, නැවත නැවත් විමසද්දී, කරුණු පෙන්වා දෙද්දී, වෙන මතයක් දරන කෙනෙකුට ඔය දෘෂ්ටියක් ගියොත්, අකිරියවාදය (කර්මඵල විශ්වාස නොකිරීම) තුළ පිහිටනවා.
පින්වත් මහණෙනි, මා විසින් මේ ධර්මය දේශනා කරලයි තියෙන්නේ. එය නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ධර්මයක්. නොකෙලෙසන ධර්මයක්. උපවාද නොකරන ධර්මයක්. බැහැර නොකරන ධර්මයක්. පින්වත් මහණෙනි, මා විසින් දේශනා කරන ලද, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන, නොකෙලෙසන, උපවාද නොකරන, බැහැර නොකරන ලද ධර්මය කුමක්ද? පින්වත් මහණෙනි, මා විසින් ධර්මය දේශනා කරන ලද්දේ ‘මේ ධාතු සයකි’ කියාය. මෙය නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකළ හැකි දෙයකි. ….(පෙ)…. බැහැර නොකළ දෙයකි. පින්වත් මහණෙනි, මා විසින් ධර්මය දේශනා කරන ලද්දේ ‘මේ ස්පර්ශ ආයතන හයකි’ කියාය. මෙය නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකළ හැකි දෙයකි. ….(පෙ)…. බැහැර නොකළ දෙයකි. පින්වත් මහණෙනි, මා විසින් ධර්මය දේශනා කරන ලද්දේ ‘මේ මනස හැසිරෙන තැන් දහ අටකි’ කියාය. මෙය නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකළ හැකි දෙයකි. ….(පෙ)…. බැහැර නොකළ දෙයකි. පින්වත් මහණෙනි, මා විසින් ධර්මය දේශනා කරන ලද්දේ ‘මේ ආර්ය සත්‍යයන් හතරකි’ කියාය. මෙය නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකළ හැකි දෙයකි. ….(පෙ)…. බැහැර නොකළ දෙයකි.
පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ ධාතු සයකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමය. මෙය මා විසින් කියන ලද්දේ කවර කරුණක් අරභයාද? පින්වත් මහණෙනි, මේ ධාතු හයකි. එනම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාස ධාතු, විඤ්ඤාණ ධාතුයි. පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ ධාතු සයකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමයි. මෙය මා විසින් කියන ලද්දේ මෙම කරුණ අරභයායි.
පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ ස්පර්ශ ආයතන සයකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමය. මෙය මා විසින් කියන ලද්දේ කවර කරුණක් අරභයාද? පින්වත් මහණෙනි, මේ ස්පර්ශ ආයතන හයකි. එනම් ඇස නම් වූ ස්පර්ශ ආයතනය, කන නම් වූ ස්පර්ශ ආයතනය, නාසය නම් වූ ස්පර්ශ ආයතනය, දිව නම් වූ ස්පර්ශ ආයතනය, කය නම් වූ ස්පර්ශ ආයතනය, මනස නම් වූ ස්පර්ශ ආයතනයයි. පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ ස්පර්ශ ආයතන සයකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමයි. මෙය මා විසින් කියන ලද්දේ මෙම කරුණ අරභයායි.
පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ මනස හැසිරෙන තැන් දහ අටකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමය. මෙය මා විසින් කියන ලද්දේ කවර කරුණක් අරභයාද? පින්වත් මහණෙනි, මේ මනස හැසිරෙන තැන් දහඅටකි. එනම් ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපය ගැන සිත හැසිරෙයි, දොම්නසට කරුණු වූ රූපය ගැන සිත හැසිරෙයි, උපේක්ෂාවට කරුණු වූ රූපය ගැන සිත හැසිරෙයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කර ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සොම්නසට කරුණු වූ අරමුණ ගැන සිත හැසිරෙයි, දොම්නසට කරුණු වූ අරමුණ ගැන සිත හැසිරෙයි, උපේක්ෂාවට කරුණු වූ අරමුණ ගැන සිත හැසිරෙයි. පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ මනස හැසිරෙන තැන් දහ අටකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමයි. මෙය මා විසින් කියන ලද්දේ මෙම කරුණ අරභයායි.
පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ ආර්ය සත්‍යය සතරකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමය. මෙය මා විසින් කියන ලද්දේ කවර කරුණක් අරභයාද? පින්වත් මහණෙනි, (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන) ධාතූන් සය නිසා මව්කුසකට බැසගැනීම සිදුවෙනවා. මව්කුසකට බැසගැනීම ඇති විට, නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කරගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවෙනවා. පින්වත් මහණෙනි, විඳින කෙනා හට තමයි මා මෙය දුකය කියා පණවන්නේ. මෙය දුකේ හටගැනීමය කියා පණවන්නේ. මෙය දුක් නිරුද්ධ වීමය කියා පණවන්නේ. මෙය දුක් නිරුද්ධවන්නා වූ ප්‍රතිපදාවය කියා පණවන්නේ.
පින්වත් මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද? ඉපදීමත් දුකකි. ජරාවට පත්වීමත් දුකකි. රෝග පීඩා වැළඳීමත් දුකකි. මරණයද දුකකි. ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදියත් දුකකි. කැමැති වන්නා වූ යමක් නොලැබෙයිද එයත් දුකකි. සියල්ල හකුළුවා පැවසුවොත් පඤ්ච උපාදානස්කන්ධයම දුකකි. පින්වත් මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, දුකෙහි හටගැනීම නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? ආර්ය සත්‍යාවබෝධ නොවීම නම් වූ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණ්‍ය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කරගෙන නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කරගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම (භවය) හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරාමරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගන්නවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, දුකෙහි හටගැනීම නම් වූ ආර්ය සත්‍යය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙලා යනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙලා යනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම හේතු කරගෙන ජරාමරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. පින්වත් මහණෙනි, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යනු කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. පින්වත් මහණෙනි, දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ නොකරන ලද, නොකෙලෙසන ලද, උපවාද නොකරන ලද, බැහැර නොකරන ලද, ‘මේ ආර්ය සත්‍යය හතරකි’යි යන ධර්මය මා විසින් දේශනා කරන ලදියි යනුවෙන් මෙසේ යමක් කියන ලද්දේමයි. මෙය මා විසින් කියන ලද්දේ මෙම කරුණ අරභයායි.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M