සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.6.7. සමුද්ද සුත්තං

12.6.7. සමුද්‍රය ගැන වදාළ දෙසුම

“මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් මහා සමුද්‍රයෙන් දෙකක් හෝ තුනක් හෝ දියබිඳු බැහැර කරන්නේ නම්, මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? කුමක් බොහෝ වෙයි ද? බැහැරට ගන්නා ලද දෙකක් හෝ තුනක් හෝ දිය බිඳු ඇත්නම් එය ද? මහාසමුද්‍රයෙහි යම් ජලයක් ඇත්නම් එය ද?”

“ස්වාමීනී, යම් මේ ජලයක් මහාසමුද්‍රයෙහි ඇද්ද, එය ම ඉතාමත් බොහෝ ය. ගොඩට ගන්නා ලද දෙකක් හෝ තුනක් හෝ දිය බිඳු ඇද්ද, එය ඉතා ස්වල්පයකි. මහා සමුද්‍රයෙහි ජලය හා ගොඩට ගන්නා ලද දෙකක් හෝ තුනක් හෝ දිය බිඳු සසඳා බලද්දී සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.”

“එසෙයින් ම මහණෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය කළ දිට්ඨිසම්පන්න ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ ක්ෂය කරන ලද, ගෙවන ලද දුකක් ඇද්ද, මෙය ම ඉතාමත් බොහෝ ය. ඉතුරු වී ඇති දුකක් ඇද්ද, එය ඉතාමත් ම ස්වල්පය ය. යමෙක් ‘මෙය දුක යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක හටගැනීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ඒ ආර්ය ශ්‍රාවකයා හට යම් මේ සත් වතාවක් පරම කොට ඉපදීමක් ඇද්ද, මේ ඉපදීමේ දුක, ක්ෂය කරන ලද, ගෙවන ලද පළමු දුක්ඛස්කන්ධය හා සසඳා බලද්දී මෙය සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සමුද්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M