සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.6.2. පොක්ඛරණී සුත්තං

12.6.2. පොකුණ උපමාවට ගෙන වදාළ දෙසුම

“මහණෙනි, එය මෙබඳු දෙයකි. පනස් යොදුන් පළල, පනස් යොදුන් දිග, පනස් යොදුන් ගැඹුරු ජලයෙන් පිරී ගිය, ඉවුර දක්වා පිරීගිය, කපුටන්ට ද පහසුවෙන් පානය කළ හැකි පරිදි වූ පොකුණක් ඇත්තේ ය. පුරුෂයෙක් කුස තණ අගින් එයින් දිය ස්වල්පයක් බැහැරට ගන්නේ ය.

මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? කුමක් ඉතා බොහෝ ද? කුසතණ අගින් බැහැරට ගන්නා ලද යම් දියක් ඇත්නම්, එය ද? පොකුණෙහි යම් දියක් ඇත්නම් එය ද?”

“ස්වාමීනී, යම් මේ පොකුණෙහි ජලයක් ඇද්ද මෙය ම ඉතාමත් බොහෝ ය. කුසතණ අගින් බැහැරට ගත් ජලයක් ඇද්ද මෙය ඉතා ස්වල්පයකි. පොකුණෙහි ඇති ජලය හා කුස තණ අගින් බැහැරට ගත් ජලය සසඳා බලද්දී සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.”

“එසෙයින් ම මහණෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය කළ දිට්ඨිසම්පන්න ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ ක්ෂය කරන ලද, ගෙවන ලද දුකක් ඇද්ද, මෙය ම ඉතාමත් බොහෝ ය. ඉතුරු වී ඇති දුකක් ඇද්ද, එය ඉතාමත් ම ස්වල්පය ය. යමෙක් ‘මෙය දුක යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක හටගැනීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ඒ ආර්ය ශ්‍රාවකයා හට යම් මේ සත් වතාවක් පරම කොට ඉපදීමක් ඇද්ද, මේ ඉපදීමේ දුක, ක්ෂය කරන ලද, ගෙවන ලද පළමු දුක්ඛස්කන්ධය හා සසඳා බලද්දී මෙය සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පොක්ඛරණී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M