සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.6.10. දුතිය පබ්බතූපම සුත්තං

12.6.10. පර්වතය උපමා කොට වදාළ දෙවෙනි දෙසුම

“මහණෙනි, එය මෙබඳු දෙයකි. හිමාල පර්වතරාජයා අබ ඇට තරමේ ගල් කැට සතක් ඉතුරු කොට ක්ෂය වී යන්නේ නම්, ගෙවී යන්නේ නම්, මහණෙනි, එය කිමෙකැයි හඟිව් ද? බහුතර ව ඇත්තේ කුමක් ද? හිමාල පර්වත රාජයාගේ යම් යම් ප්‍රමාණයක් ක්ෂය වී ගියේ නම් එය ද? අබ ඇට තරමේ ඉතිරි වී ඇති ගල්කැට සත ද?”

“ස්වාමීනී, හිමාල පර්වත රාජයාගේ යම් මේ ක්ෂය වී ගිය, ගෙවී ගිය ප්‍රමාණයක් ඇද්ද, එය ම අතිශයින් බහුතර වෙයි. ඉතිරි වී ඇති අබ ඇට තරමේ ගල්කැට සතක් ඇද්ද, එය ඉතා ස්වල්පයකි. ක්ෂය වූ, ගෙවී ගිය හිමාල පර්වතය පර්වතය සමඟ ඉතිරි වී ඇති අබ ඇට තරමේ ගල් කැට සත සසඳා බලද්දී සංඛ්‍යාවකට ද ගත නොහැකි ය. සැසඳීමකට ද ගත නොහැකි ය. ඉතා කුඩා කොටසකට ද ගත නොහැකි ය.”

“එසෙයින් ම මහණෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය කළ දිට්ඨිසම්පන්න ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ ක්ෂය කරන ලද, ගෙවන ලද දුකක් ඇද්ද, මෙය ම ඉතාමත් බොහෝ ය. ඉතුරු වී ඇති දුකක් ඇද්ද, එය ඉතාමත් ම ස්වල්පය ය. යමෙක් ‘මෙය දුක යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක හටගැනීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, එසේ දිට්ඨි සම්පන්න පුද්ගලයා යම් සත්වතාවක් පරම කොට ඇති ඉපදීම හා සසඳා බලද්දී මෙය සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පබ්බතූපම සූත්‍රය නිමා විය.

සයවෙනි අභිසමය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

නඛසිඛා සූත්‍රය, පොක්ඛරණී සූත්‍රය, සම්භෙජ්ජ සූත්‍ර දෙක, පඨවි සූත්‍ර දෙක, සමුද්ද සූත්‍ර දෙක සහ පබ්බතූපම සූත්‍ර දෙක වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M