මහණෙනි, අනේකප්‍රකාර වූ තිරිසන් කථාවන් කථා නොකරව්. එනම්, රජුන් පිළිබඳ කථා ය, සොරු පිළිබඳ කථා ය, මහා අමාත්‍යයන් පිළිබඳ කථා ය, හමුදාව පිළිබඳ කථා ය, භය පිළිබඳ කථා ය, යුද්ධ පිළිබඳ කථා ය, ආහාර පිළිබඳ කථා ය, බීම වර්ග පිළිබඳ කථා ය, ඇඳුම් පිළිබඳ කථා ය, සයන පිළිබඳ ව කථා ය, මල් වර්ග පිළිබඳ කථා ය, සුවඳ වර්ග පිළිබඳ කථා ය, ඥාතීන් පිළිබඳ කථා ය, යානවාහන පිළිබඳ කථා ය, ගම් පිළිබඳ කථා ය, නියම්ගම් පිළිබඳ කථා ය, නගර පිළිබඳ කථා ය, ජනපද පිළිබඳ කථා ය, කාන්තාවන් පිළිබඳ කථා ය, පුරුෂයින් පිළිබඳ කථා ය, ශූරයින් පිළිබඳ කථා ය, මගතොට පිළිබඳ කථා ය, දියතොට පිළිබඳ කථා ය, මළවුන් පිළිබඳ කථා ය, නොයෙක් දේ පිළිබඳ කථා ය, ලෝකයේ අගමුල පිළිබඳ කථා ය, මහාසයුරේ අගමුල පිළිබඳ කථා ය, මෙසේ මෙසේ වූයේ ය යනාදිය පිළිබඳ කථා ය.
එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ තිරිසන් කථාවෝ යහපතින් යුක්ත නොවෙති. නිවන් මගට මුල් නොවෙති. අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවතිත්. විරාගය පිණිස නොපවතිත්. නිරෝධය පිණිස නොපවතිත්. සංසිඳීම පිණිස නොපවතිත්. විශිෂ්ට ඥානය පිණිස නොපවතිත්. සත්‍යාවබෝධය පිණිස නොපවතිත්. නිවන පිණිස නොපවතිත්.
මහණෙනි, ඔබලා කථා කරන්නාහු නම් මෙය දුක යැයි කථා කරව්. මෙය දුකෙහි හටගැනීම යැයි කථා කරව්. මෙය දුක් නිරුද්ධ වීම යැයි කථා කරව්. මෙය දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි කථා කරව්. එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ කථාවෝ යහපතින් යුක්ත වෙති. මේවා නිවන් මගට මුල් වෙති. මේවා අවබෝධයෙන් කලකිරීම පිණිස පවතිත්. විරාගය පිණිස පවතිත්. නිරෝධය පිණිස පවතිත්. සංසිඳීම පිණිස පවතිත්. විශිෂ්ට ඥානය පිණිස පවතිත්. සත්‍යාවබෝධය පිණිස පවතිත්. නිවන පිණිස පවතිත්.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
තිරච්ඡානකථා සූත්‍රය නිමා විය.
පළමු වෙනි සමාධි වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සමාධි සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, කුලපුත්ත සූත්‍ර දෙක, සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙක, විතක්ක සූත්‍රය, චින්තා සූත්‍රය, විග්ගාහිකකථා සූත්‍රය, තිරච්ඡාන කථා සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M