සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.5.2. දුතිය අසංඛෙය්‍ය සුත්තං

11.5.2. සංඛ්‍යාවකට ගිණිය නොහැකි දේ ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, සැපය ඇතිකර දෙන්නා වූ මේ පුණ්‍යප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මෙය සැපය ඇති කර දෙන්නා වූ පළමුවෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහය යි.

තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද ධර්මය ඇත්තේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය’ යනුවෙනි. මෙය සැපය ඇති කර දෙන්නා වූ දෙවෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහය යි.

තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි.’ යනුවෙනි. මෙය සැපය ඇති කර දෙන්නා වූ තෙවෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහයයි.

තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ පහ ව ගිය මසුරුමල ඇති සිතින් ගිහි ගෙදර වසන්නේ වෙයි. එනම්, දන් දීම පිණිස වෙන්කළ දේ ඇතිව, සෝදා ගත් අත් ඇති ව, දන් දීමෙහි ඇලුණේ, අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණේ වෙයි. මෙය සැපය ඇති කර දෙන්නා වූ සිව්වෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහය යි.

මහණෙනි, මේ වනාහී සැපය ඇතිකර දෙන්නා වූ සතරක් වූ පුණ්‍යප්‍රවාහයෝ ය; කුසල ප්‍රවාහයෝ ය.

මහණෙනි, මේ සතරක් වූ පුණ්‍ය ප්‍රවාහයන්ගෙන්, කුසල ප්‍රවාහයන්ගෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයාගේ පිනෙහි ප්‍රමාණය ‘මෙපමණ සැපය ඇති කර දෙන පුණ්‍ය ප්‍රවාහයකි, කුසල ප්‍රවාහයකි’ යි ගණන් කරන්නට ලෙහෙසි නැත්තේ ය. එසේ නමුත් ‘සංඛ්‍යාවකට ගිණිය නොහැකිය. පමණ කළ නොහැකිය. මහා පුණ්‍ය ස්කන්ධයක් ය’ යන සංඛ්‍යාවයට ම යයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පංච මහා ගංගාවෝ යම් තැනක එකතු වෙත් ද, එකට ගැලපී යත් ද, එහි ඇති ජලයෙහි ප්‍රමාණය ‘දිය මනින බඳුනෙන් මෙපමණක් ඇත්තේ ය, මෙපමණ දිය බඳුන් සියයක් ඇත්තේ ය. මෙපමණ දිය බඳුන් දහසක් ඇත්තේ යැ’ යි ගණන් කිරීම ඉතා දුෂ්කර දෙයකි. එසේ නමුත් ‘සංඛ්‍යාවකට ගිණිය නොහැකිය. පමණ කළ නොහැකිය. මහා ජලස්කන්ධයක් ය’ යන සංඛ්‍යාවයට ම යයි. එසෙයින් ම මහණෙනි, මේ සතරක් වූ පුණ්‍ය ප්‍රවාහයන්ගෙන්, කුසල ප්‍රවාහයන්ගෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයාගේ පිනෙහි ප්‍රමාණය ‘මෙපමණ සැපය ඇති කර දෙන පුණ්‍ය ප්‍රවාහයකි, කුසල ප්‍රවාහයකි’ යි ගණන් කරන්නට ලෙහෙසි නැත්තේ ය. එසේ නමුත් ‘සංඛ්‍යාවකට ගිණිය නොහැකිය. පමණ කළ නොහැකිය. මහා පුණ්‍ය ස්කන්ධයක් ය’ යන සංඛ්‍යාවයට ම යයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය ද වදාළ සේක.

මහෝදධිං අපරිමිතං මහාසරං
බහුභේරවං රතනගණානමාලයං
නජ්ජෝ යථා නරගණසංඝසේවිතා
පුථූ සවන්තී උපයන්ති සාගරං

මහත් ජලස්කන්ධයක් ඇති, ප්‍රමාණ කළ නොහැකි වූ මහා ගංගාවන්ගේ එක්වීම ඇති, ඉතා බිහිසුණු, රත්න සමූහයාගේ වාසස්ථානය වූ මහා සාගරයට මනුෂ්‍ය සමූහයා විසින් සේවනය කරන ලද බොහෝ ගංගාවෝ යම් සේ ගලා බසිත් ද,

ඒවං නරං අන්නදපානවත්ථදං
සෙය්‍යානිසජ්ජත්ථරණස්ස දායකං
පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං
නජ්ජෝ යථා වාරිවහාව සාගරන්’ති

එසෙයින් ම ආහාරපාන වස්ත්‍ර ආදිය දන් දෙන්නා වූ, සෙනසුන් ඇතිරිලි ආදිය දන් දෙන්නා වූ, නුවණැති මිනිසා කරා දිය රැගෙන නදීන් මහා සයුර වෙත පැමිණෙන සෙයින් ඔහු වෙත පුණ්‍ය ධාරාවෝ පැමිණෙති.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අසංඛෙය්‍ය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M