සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.7.14. දුතිය යෝනිසෝ සුත්තං

1.7.14. නුවණ යොදා මෙනෙහි කිරීම ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගැනීම පිණිස එක ධර්මයක් බොහෝ සෙයින් උපකාරී වෙයි. ඒ කවර එක ධර්මයක් ද යත්, එනම් නුවණ යොදා මෙනෙහි කිරීම නම් වූ සම්පත්තිය ඇති බව යි.

මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ ය යන්න කැමති විය යුතු ය.

මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ කෙසේ ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය යෝනිසෝ සූත්‍රය නිමා විය.

සත් වෙනි ඒකධම්ම පෙය්‍යාලය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

කල්‍යාණමිත්ත, සීල, ඡන්ද, අත්ත, දිට්ඨි, අප්පමාද වශයෙන් සූත්‍ර යුගල සයකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වෙනි වෙයි. මෙහි සූත්‍ර දහහතරකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-7-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M