සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.16.145.-160. උද්ධම්භාගිය සංයෝජන සූත්‍රයෝ

1.16.145.-160. උද්ධම්භාගිය සංයෝජන ගැන වදාළ දෙසුම්

මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ පංච

උද්ධම්භාගිය සංයෝජනයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි. මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය.

(ඒසනා සූත්‍ර සෙයින් සියළු පෙය්‍යාලයන්හි සූත්‍ර සොළොස සොළොස විස්තර කළ යුත්තේ ය.)

දහසය වෙනි ඕඝ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යැයි සොළොස් ආකාරයෙන් දසයකි. සූත්‍ර එකසිය හැටකි.

මග්ග සංයුත්තය අවසන් විය.

එහි වර්ග නාමාවලිය :

පළමුවෙනි අවිජ්ජා වර්ගය, දෙවෙනි විහාර වර්ගය, තුන්වෙනි මිච්ඡත්ත වර්ගය, සිව්වෙනි පටිපත්ති වර්ගය, පස්වෙනි අඤ්ඤතිත්ථිය වර්ගය, හයවෙනි සුරිය පෙය්‍යාලය, ඒකධම්ම වර්ග දෙකකි. ගංගා පෙය්‍යාල සතරකි. දහතුන් වෙනි අප්‍රමාද වර්ගය, දහහතර වෙනි බලකරණීය වර්ගය, පසළොස් වෙනි ඒසනා වර්ගය සහ සොළොස් වෙනි ඕඝ වර්ගය යි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-16-145/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M