සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.45.-48. නදී සූත්‍රයෝ

1.14.45.-48. නදිය ගැන වදාළ දෙසුම්

“මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී තිබෙන්නේ වෙයි ද, එකල්හී මහා ජනකායක් උදළු, පැසි රැගෙන ‘අපි මේ ගංගා නදිය බටහිරට නැමුණක් කරන්නෙමු. බටහිරට නැඹුරු කරන්නෙමු. බටහිරට බර කරන්නෙමු’ යි පැමිණෙත් නම්, මහණෙනි, ඒ කිමැයි හඟිව් ද? ඒ මහා ජනකාය ඒ ගංගා නදිය බටහිරට නැමීමක්, බටහිරට නැඹුරු වූවක්, බටහිරට බර වූවක් කරන්නේ ද?”

“ස්වාමිනී, එය නොවේ ම ය.”

“එයට හේතුව කුමක් ද?”

“ස්වාමීනී, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ ය. එය බටහිරට නම්මවා, බටහිරට නැඹුරු කරවා, බටහිරට බර කරවා තබන්නට පහසු නොවෙයි. ඒ මහා ජනකාය හුදෙක් ක්ලාන්තයට ත්, පීඩාවට ත් බඳුන් වන්නේ ය.”

“එසෙයින් ම මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නා වූ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුවකට රජවරු වේවා, රාජ මහාමාත්‍යයෝ වේවා, මිත්‍රයෝ වේවා, සහචරයෝ වේවා, නෑයෝ වේවා, ලේ නෑයෝ වේවා, භෝග සම්පත් පවරා මෙසේ කියත් නම්, ‘එම්බා පුරුෂය, මේ සිවුරු පෙරවීමෙන් ඇති ඵලය කිම? කුමකට නම් හිස මුඩු කොට, කබලක් අතින් ගෙන හැසිරෙන්නෙහි ද? එව. හීන වූ ගිහි බවට පැමිණ භෝග සම්පත් ද අනුභව කරව. පිනුත් කරව’ යි. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නා වූ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නා වූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙන්නේ ය යන කරුණ සිදුවිය නොහැක්කේ ය. ඒ මක් නිසා ද යත්, මහණෙනි, යම් හෙයකින් ඒ සිත බොහෝ කලක් විවේකයට නැමී, විවේකයට නැඹුරු වී, විවේකයට බර වී ඇති නිසා ය. ඒකාන්තයෙන් ඒ සිත හීන වූ ගිහි බවට පත්වන්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි.

මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුවක් මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ ය.

(බල සූත්‍ර විස්තර කළ අයුරින් මේ සූත්‍ර සියල්ල විස්තර කළ යුත්තේ ය.)

දහහතර වෙනි බලකරණීය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස වශයෙන් සතර බැගින් වූ සූත්‍ර සතකි. සතර බැගින් වූ මේඝ සූත්‍ර දෙකකි. නාවා, ආගන්තුක, නදී වශයෙන් සතර බැගින් වූ සූත්‍ර තුනකි. සූත්‍ර සියල්ල හතළිස් අටකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-45/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M