සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.37.-40. නාවා සූත්‍රයෝ

1.14.37.-40. නැව ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ වේවැල් කඹයෙන් බඳින ලද මුහුදු යන නැව සය මසක් මුහුදෙහි ගමන් කොට ශීත කාලයෙහි ගොඩට නගා තැබූ විට අව් සුළඟට මැඩෙන්නා වූ ඒ වේවැල් බන්ධන වැසි කාලයේ දී වැස්සෙන් හාත්පස තෙමෙමින් තිබී සුළු උත්සාහයකින් ලෙහී යයි ද, කුණු වී යයි ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ, සුළු උත්සාහයකින් සංයෝජනයන් ලෙහී යයි. කුණු වී යයි.

මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ වඩද්දී ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ බහුල කරද්දී ද, සුළු උත්සාහයකින් සංයෝජනයන් ලෙහී යන්නේ? කුණු වී යන්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ වඩද්දී ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ බහුල කරද්දී ය, සුළු උත්සාහයකින් සංයෝජනයන් ලෙහී යන්නේ, කුණු වී යන්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-37/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M