සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.13.2. දුතිය තථාගත සුත්තං

1.13.2. තථාගතයන් වහන්සේ ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, පා රහිත වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිවු පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූප ලෝකයෙහි සිටින්නා වූ හෝ අරූප ලෝකයෙහි සිටින්නා වූ හෝ සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නේවසංඥීනාසංඥී වූ හෝ යම්තාක් සත්වයෝ සිටිත් ද, ඔවුන් අතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ඒ සියළු කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇත්තේ ය. අප්‍රමාදය වටා එක් වන්නේ ය. ඒ කුසල් දහම්වලට අප්‍රමාදය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ ය යන කරුණ අප්‍රමාදී භික්ෂුව විසින් කැමති විය යුත්තේ ය.

මහණෙනි, අප්‍රමාදී භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ කෙසේ ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, අප්‍රමාදී භික්ෂුව මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය තථාගත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M