මහණෙනි, යම්කිසි මහා නදීහු වෙත් ද, එනම්; ගංගා ය, යමුනා ය, අචිරවතී ය, සරභූ ය, මහී ය. ඒ සියළු ගංගාවෝ සමුද්‍රයට නැමී, සමුද්‍රයට නැඹුරු වී, සමුද්‍රයට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නා වූ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.
මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, කුමන අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන විට ද? කුමන අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන විට ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. රාගය දුරු කිරීම අවසානය කොට ගෙන, ද්වේෂය දුරු කිරීම අවසානය කොට ගෙන, මෝහය දුරු කිරීම අවසානය කොට ගෙන නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.
මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, මේ අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන විට ය. මේ අයුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන විට ය.
දස වෙනි දුතිය ගංගා පෙය්‍යාලය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාචීනනින්න සූත්‍රය සයකි. සමුද්දනින්න සූත්‍ර සයකි. මෙසේ සය බැගින් දෙකක් වූ කළ සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-10-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M