එදා යුධ සෙබළ ගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණු යුධ සෙබළ ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඉස්සර හිටපු ආචාර්ය ප්‍රාචාර්ය වූ යුධ සෙබළුන් විසින් කියන්නා වූ කරුණක් මා හට අසන්ට ලැබුණා. ‘යම් මේ යුධ සෙබළෙක් යුද්ධයකදී උත්සාහයෙන් යුද්ධ කරයි නම්, ඉතින් උත්සාහ කරන්නා වූ, වෑයම් කරන්නා වූ ඔහුව සතුරන් විසින් නසනවා නම්, මරල දානවා නම්, ඒ කෙනා කය බිඳී මරණින් මතු සරඤ්ජිත නම් වූ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා’ කියලා. මේ කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක්ද?”
“පින්වත් ගාමණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණාවේ. ඕක ගැන මගෙන් අහන්ට එපා.” දෙවෙනි වතාවේදීත් ….(පෙ)…. තුන්වෙනි වතාවේදීත් යුධ සෙබළ ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනි, ඉස්සර හිටපු ආචාර්ය ප්‍රාචාර්ය වූ යුධ සෙබළුන් විසින් කියන්නා වූ කරුණක් මා හට අසන්ට ලැබුණා. ‘යම් මේ යුධ සෙබළෙක් යුද්ධයකදී උත්සාහයෙන් යුද්ධ කරයි නම්, ඉතින් උත්සාහ කරන්නා වූ, වෑයම් කරන්නා වූ ඔහුව සතුරන් විසින් නසනවා නම්, මරල දානවා නම්, ඒ කෙනා කය බිඳී මරණින් මතු සරඤ්ජිත නම් වූ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා’ කියලා. මේ කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරණ සේක්ද?”
“පින්වත් ගාමණී, වැඩක් නෑ. ඔය කාරණය තිබුණාවේ. ඕක ගැන මගෙන් අහන්ට එපා’ යන කරුණ ඒකාන්තයෙන් ම පින්වත් ගාමණී, මම ලබන්නේ නෑ. එනමුදු එයට මං පිළිතුරු දෙන්නම්. පින්වත් ගාමණී, යම් ඒ යුධ සෙබළෙක් යුද්ධයකදී උත්සාහ කරනවා නම්, වෑයම් කරනවා නම්, එහිදී ඔහුගේ සිත කලින් ම පහත් තත්වයට වැටිලයි තියෙන්නේ. නපුරට වැටිලයි තියෙන්නේ. වරදවා පිහිටුවලයි තියෙන්නෙ. ‘මේ සත්වයෝ නැසෙත්වා හෝ යටතට බැඳෙත්වා හෝ විනාශ වෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා’ ආදී වශයෙන් මේ විදියට උත්සාහ කරන වෑයම් කරන ඔහුව සතුරන් විසින් නසනවා. මරල දානවා. ඒ යුධ සෙබළා කය බිඳී මරණින් මතු උපදින්නේ සරඤ්ජිත කියන නිරයේ. ඉදින් ඔහු මේ විදිහේ දෘෂ්ටියක් ඇතිව නම් ඉන්නේ. ‘යම් මේ යුධ සෙබළෙක් යුද්ධයකදී උත්සාහයෙන් යුද්ධ කරයි නම්, ඉතින් උත්සාහ කරන්නා වූ, වෑයම් කරන්නා වූ ඔහුව සතුරන් විසින් නසනවා නම්, මරල දානවා නම්, ඒ කෙනා කය බිඳී මරණින් මතු සරඤ්ජිත නම් වූ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා’ කියලා. ඒක ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය යි. පින්වත් ගාමණී, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු පුරුෂ පුද්ගලයා හට නිරය හෝ තිරිසන් යෝනිය යන ගති දෙක අතරින් එක්තරා උපතක් විතරයි තියෙන්නේ කියලයි මා කියන්නේ.”
එසේ වදාළ විට යුධ සෙබළ ගාමණී හැඬුවා. කඳුළු හෙළුවා. “පින්වත් ගාමණී වැඩක් නෑ. ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා” යන මේ කරුණ පින්වත් ගාමණී මං නොලැබුවා නොවැ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා හට යම් කරුණක් වදාළ සේක් නම්, මේ ගැන මං හඬන්නේ නෑ. නමුත් ස්වාමීනි, ඉස්සර හිටපු ආචාර්ය ප්‍රාචාර්ය යුධ සෙබළුන් විසින් බොහෝ කලක් තිස්සේ මාව රවට්ටල තියෙන්නේ. වංචා කරල තියෙන්නේ. වරද්දවල තියෙන්නේ. ‘යම් මේ යුධ සෙබළෙක් යුද්ධයකදී උත්සාහයෙන් යුද්ධ කරයි නම්, ඉතින් උත්සාහ කරන්නා වූ, වෑයම් කරන්නා වූ ඔහුව සතුරන් විසින් නසනවා නම්, මරල දානවා නම්, ඒ කෙනා කය බිඳී මරණින් මතු සරඤ්ජිත නම් වූ දෙවියන්ගේ ලෝකයෙහි උපදිනවා’ කියලා.
ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, ඉතා සුන්දරයි. ….(පෙ)…. අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උපාසකයෙකු වශයෙන්) මා පිළිගන්නා සේක්වා.”
සාදු ! සාදු !! සාදු !!!
යෝධාජීව සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_8-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M