සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.12. තතිය සක්ක සුත්තං

6.1.12. සක් දෙවිඳුට වදාළ තුන්වෙනි දෙසුම

එතකොට සක් දෙවිඳු පන්සියයක් දෙවියන් සමඟ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් සක් දෙවිඳු හට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් දෙවිඳුනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම ඉතා යහපත් දෙයක්. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක කියලා. පින්වත් දෙවිඳුනි, ඔය අයුරින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.

පින්වත් දෙවිඳුනි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම ඉතා යහපත් දෙයක්. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන සේක. සන්දිට්ඨික වන සේක. අකාලික වන සේක. ඒහිපස්සික වන සේක. ඕපනයික වන සේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක කියලා. පින්වත් දෙවිඳුනි, ඔය අයුරින් ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.

පින්වත් දෙවිඳුනි, ආර්ය ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම ඉතා යහපත් දෙයක්. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාමීචිපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය පුරුෂ යුගල වශයෙන් සතරක් ද, පුරුෂ පුද්ගල වශයෙන් අට දෙනෙක් ද වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ආහුනෙය්‍ය වන සේක. පාහුනෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අඤ්ජලිකරණීය වන සේක. ලොවට උතුම් පින්කෙත වන සේක කියලා. පින්වත් දෙවිඳුනි, ඔය අයුරින් ආර්ය ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.

පින්වත් දෙවිඳුනි, ආර්ය කාන්ත සීලයෙන් සමන්විත වීමත් ඉතා හොඳ දෙයක්. ඒ කියන්නේ; නොකැඩුණු, සිදුරු නැති, කැළැල් නැති, පැල්ලම් නැති, දෘෂ්ටි වලින් නිදහස් වූ, නුවණැත්තන් විසින් පසසන, දෘෂ්ටි වලට නොබැඳුනු, සමාධියට උපකාර වන්නා වූ සීලයෙන් යුතු වීම යි. පින්වත් දෙවිඳුනි, ආර්ය කාන්ත සීලයෙන් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.”

“පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම ඉතා යහපත් දෙයක් ම යි. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක කියලා. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඔය අයුරින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි.

පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම ඉතා යහපත් දෙයක් ම යි. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන සේක ….(පෙ)…. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක කියලා. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඔය අයුරින් ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි.

පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම ඉතා යහපත් දෙයක් ම යි. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න වන සේක ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වන සේක කියලා. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඔය අයුරින් ආර්ය ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි.

පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය කාන්ත සීලයෙන් සමන්විත වීමත් ඉතා හොඳ දෙයක් ම යි. ඒ කියන්නේ; නොකැඩුණු, ….(පෙ)…. සමාධියට උපකාර වන්නා වූ සීලයෙන් යුතු වීම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය කාන්ත සීලයෙන් යුතු වීම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි.

සාදු ! සාදු !! සාදු !!!

තතිය සක්ක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M