පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. හතරමං හන්දියක තිරිඟුකරල් මිටියක් දාලා තියෙනවා. ඉතින් පුරුෂයන් හය දෙනෙක් ලොකු පොලු අරගත් අතින් යුතුව ඔතැනට යනවා. ඔවුන් ඒ තිරිඟු මිටිය අර පොලු හයෙන් තලනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ තිරිඟු මිටිය අර පොලු හය නිසා ඇති පදමට තැලෙනවා. එතකොට තවත් ලොකු පොල්ලක් අතින් ගත් පුරුෂයෙක් හත්වෙනියා හැටියට එතැනට එනවා. ඔහු ඒ තිරිඟු මිටිය හත්වෙනි පොල්ලෙනුත් තලනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ තිරිඟු මිටිය හත්වෙනි පොල්ලෙනුත් තැලීම නිසා බරපතල විදිහට තැලිලා යනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි. අශ්‍රැතවත් පෘතග්ජනයා කැමති අකමැති රූප කරණ කොටගෙන ඇස තුළින් පීඩා විඳිනවා. කැමති අකමැති ශබ්ද කරණ කොටගෙන කන තුළින් පීඩා විඳිනවා. කැමති අකමැති ගන්ධ කරණ කොටගෙන නාසය තුළින් පීඩා විඳිනවා. කැමති අකමැති රස කරණ කොටගෙන දිව තුළින් පීඩා විඳිනවා. කැමති අකමැති පහස කරණ කොටගෙන කය තුළින් පීඩා විඳිනවා. කැමති අකමැති අරමුණු කරණ කොටගෙන මනස තුළින් පීඩා විඳිනවා.
පින්වත් මහණෙනි, ඉදින් ඒ අශ්‍රැතවත් පෘතග්ජනයා කල්පනා කරන්නේ ආයෙ ආයේමත් උපතක් කරා යන්ටම නම්, පින්වත් මහණෙනි, මෙසේ ඒ හිස් පුද්ගලයා බලවත් විදිහට තැලිලා යනවා. පින්වත් මහණෙනි, ඒක හරියට අර තිරිඟු මිටිය හත්වෙනි පොල්ලෙනුත් තැලෙනවා වගෙයි.
පින්වත් මහණෙනි, මෙය කළින් සිදු වූ දෙයක්. දෙවියනුත් අසුරයනුත් යුද්ධයකට සූදානම් වුණා. එතකොට පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්ද්‍රයා අසුරයින් ඇමතුවා. “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් සිදු වෙන්ටයි යන්නේ. ඉදින් අසුරයෝ දිනනවා නම්, දෙවියෝ පරදිනවා නම්, එතකොට ශක්‍ර දේවේන්ද්‍රයාව ගෙල පස්වෙනි කොට ඇති බන්ධනයෙන් (අත් දෙක, පා දෙක, බෙල්ල යන පස් තැන) බැඳලා අසුර පුරයෙහි මා ළඟට අරගෙන වරෙල්ලා.” කියලා. පින්වත් මහණෙනි, සක් දෙවිඳුත් තව්තිසා වැසි දෙවියන් ඇමතුවා. “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් සිදු වෙන්ටයි යන්නේ. ඉදින් දෙවියෝ දිනනවා නම්, අසුරයෝ පරදිනවා නම් එතකොට වේපචිත්ති අසුරිඳුව ගෙල පස්වෙනි කොට ඇති බන්ධනයෙන් (අත් දෙක, පා දෙක, බෙල්ල යන පස් තැන) බැඳලා සුධර්මා දිව්‍ය සභාවෙහි මා ළඟට රැගෙන එනු මැනව.” කියලා. පින්වත් මහණෙනි, ඒ යුද්ධයේ දී දෙවියන් දින්නා. අසුරයන් පැරදුනා. එතකොට පින්වත් මහණෙනි, තව්තිසා වැසි දෙවිවරු වේපචිත්ති අසුරිඳුව ගෙල පස්වෙනි කොට බන්ධනයෙන් බැඳලා සුධර්මා දිව්‍ය සභාවෙහි සක් දෙවිඳුන්ගේ සමීපයට අරගෙන ආවා. එතකොට පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරිඳු ගෙල පස්වෙනි කොට බන්ධනයෙන් බැඳලයි ඉන්නේ. පින්වත් මහණෙනි යම් විටෙක වේපචිත්ති අසුරිඳුට මෙහෙම හිතෙනවා. “දෙවියෝ වනාහී ධාර්මිකයි. අසුරයෝ අධාර්මිකයි. මං දැන් මෙහිදීම දිව්‍ය පුරයට යනවා” කියලා. එතකොට ගෙල පස්වෙනි කොට බැඳුණු බන්ධනයෙන් නිදහස් වූ තමන්ව (වේපචිත්ති) දකින්නට ලැබෙනවා. දිව්‍යමය වූ පංච කාම ගුණයෙන් පිණා ගිහින්, ඉඳුරන් පිණවමින් ඉන්නවා.
පින්වත් මහණෙනි, යම් විටෙක වේපචිත්ති අසුරිඳුට මෙහෙම හිතෙනවා. “අසුරයෝ වනාහි ධාර්මිකයි, දෙවියෝ අධාර්මිකයි. මං දැන් එහිදී අසුර පුරයට යනවා” කියලා. එතකොට ගෙල පස්වෙනි කොට ඇති බන්ධනයෙන් බැඳී ගිය තමන්වයි පෙනෙන්නේ. දිව්‍ය පංච කාම ගුණයන් පිරිහී යනවා. පින්වත් මහණෙනි, වේපචිත්ති සිරවූ බන්ධනය ඔය ආකාරයට ඉතා සියුම් එකක්. මාර බන්ධනය යනු ඔයිටත් වඩා ඉතාමත්ම සියුම් එකක්. පින්වත් මහණෙනි, ‘මම, මාගේ, යන හැඟීම පවත්වන විට මාරයාට බැඳී යනවා. ‘මම, මාගේ යන හැඟීම නැති කල්හි පවිටු මාරයාගෙන් නිදහස් වෙනවා.
පින්වත් මහණෙනි, ‘වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘මේ මම වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘අනාගතයේ වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘අනාගතයේ නො වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘රූපී වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘රූප රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘සඤ්ඤා සහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘සඤ්ඤා රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. ‘සඤ්ඤාව ඇත්තෙත් නැති සඤ්ඤාව නැත්තෙත් නැතිවෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ හැඟීමක්. පින්වත් මහණෙනි, මමත්වයෙන් ඇති වන හැඟීම රෝගයකි. මමත්වයෙන් ඇති වන හැඟීම කැක්කුම් දෙන ගෙඩියකි. මමත්වයෙන් ඇති වන හැඟීම හුලකි. එනිසා පින්වත් මහණෙනි, ‘මම, මාගේ’ යනාදී හැඟීමෙන් තොර වූ සිතින් වාසය කරන්නෙමි යි කියා, පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.
පින්වත් මහණෙනි, ‘වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘මේ මම වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘අනාගතයේ වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘අනාගතයේ නො වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘රූපී වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘රූප රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘සඤ්ඤා සහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘සඤ්ඤා රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. ‘සඤ්ඤාව ඇත්තෙත් නැති සඤ්ඤාව නැත්තෙත් නැතිවෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ කම්පනයක්. පින්වත් මහණෙනි, මමත්වයෙන් ඇති වන කම්පනය රෝගයකි. මමත්වයෙන් ඇති වන කම්පනය කැක්කුම් දෙන ගෙඩියකි. මමත්වයෙන් ඇති වන කම්පනය හුලකි. එනිසා පින්වත් මහණෙනි, ‘මම, මාගේ’ යනාදී කම්පනයෙන් තොර වූ සිතින් වාසය කරන්නෙමි යි කියා, පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.
පින්වත් මහණෙනි, ‘වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘මේ මම වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘අනාගතයේ වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘අනාගතයේ නො වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘රූපී වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘රූප රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘සඤ්ඤා සහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘සඤ්ඤා රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. ‘සඤ්ඤාව ඇත්තෙත් නැති සඤ්ඤාව නැත්තෙත් නැතිවෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ චංචල වීමක්. පින්වත් මහණෙනි, මමත්වයෙන් ඇති වන චංචල වීම රෝගයකි. මමත්වයෙන් ඇති වන චංචල වීම කැක්කුම් දෙන ගෙඩියකි. මමත්වයෙන් ඇති වන චංචල වීම හුලකි. එනිසා පින්වත් මහණෙනි, ‘මම, මාගේ’ යනාදී චංචලවීමෙන් තොර වූ සිතින් වාසය කරන්නෙමි යි කියා, පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.
පින්වත් මහණෙනි, ‘වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘මේ මම වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘අනාගතයේ වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘අනාගතයේ නො වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘රූපී වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘රූප රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘සඤ්ඤා සහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘සඤ්ඤා රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. ‘සඤ්ඤාව ඇත්තෙත් නැති සඤ්ඤාව නැත්තෙත් නැතිවෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ නොමග ගිය කල්පනාවක්. පින්වත් මහණෙනි, මමත්වයෙන් ඇති වන නොමග ගිය කල්පනාව රෝගයකි. මමත්වයෙන් ඇති වන නොමග ගිය කල්පනාව කැක්කුම් දෙන ගෙඩියකි. මමත්වයෙන් ඇති වන නොමග ගිය කල්පනාව හුලකි. එනිසා පින්වත් මහණෙනි, ‘මම, මාගේ’ යනාදී නොමග ගිය කල්පනාවෙන් තොර වූ සිතින් වාසය කරන්නෙමි යි කියා, පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.
පින්වත් මහණෙනි, ‘වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘මේ මම වෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘අනාගතයේ වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘අනාගතයේ නො වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘රූපී වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘රූප රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘සඤ්ඤා සහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘සඤ්ඤා රහිත වන්නෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. ‘සඤ්ඤාව ඇත්තෙත් නැති සඤ්ඤාව නැත්තෙත් නැතිවෙමි’ යන මෙය මමත්වයෙන් ඇති වූ මාන්නයට පත්වීමක්. පින්වත් මහණෙනි, මමත්වයෙන් ඇති වන මාන්නයට පත්වීම රෝගයකි. මමත්වයෙන් ඇති වන මාන්නයට පත්වීම කැක්කුම් දෙන ගෙඩියකි. මමත්වයෙන් ඇති වන මාන්නයට පත්වීම හුලකි. එනිසා පින්වත් මහණෙනි, ‘මම, මාගේ’ යනාදී මාන්නයට පත්වීමෙන් තොර වූ සිතින් වාසය කරන්නෙමි යි කියා, පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.
සාදු! සාදු!! සාදු!!!
යවකලාපී සූත්‍රය නිමා විය.
දහ නවවෙනි ආසිවිස වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
ආසිවිසෝපම සූත්‍රය, රථූපම සූත්‍රය, කුම්මෝපම සූත්‍රය, දාරුක්ඛන්ධෝපම සූත්‍ර දෙක, අවස්සුත පරියාය සූත්‍රය, දුක්ඛධම්ම සූත්‍රය, කිංසුකෝපම සූත්‍රය, වීණෝපම සූත්‍රය, ඡප්පාණක සූත්‍රය, යවකලාපී සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
හතරවෙනි පණ්ණාසකය යි.
එහි වර්ගයන් ගේ පිළිවෙළ උද්දානය යි.
නන්දික්ඛය වර්ගය, සට්ඨිනය වර්ගය, සමුද්ද වර්ගය, ආසිවිස වර්ගය වශයෙන් හතරවෙනි පණ්ණාසකයෙහි මේවා ඒ නිපාතයන් තුළට ඇතුළත් යැයි පවසන ලදී.
සළායතන සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-19-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M