සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.13.4. භාරද්වාජ සුත්තං

1.13.4. භාරද්වාජ තෙරුන් වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා උදේන රජු ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් සමඟ සතුටුවිය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ උදේන රජු ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ගෙන් මෙකරුණ විමසුවා.

“භවත් භාරද්වාජයෙනි, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙන්නේ. භද්‍ර යොවුන් වියෙහි ඉන්නේ. ජීවිතයේ පළමු වයසේ ඉන්නේ. පස්කම් සැප අනුභව කරලා නෑ. ඉතින් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය තෙක් පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් ඒකට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?”

“පින්වත් මහාරාජ, දතයුතු සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. “එන්න පින්වත් මහණෙනි, ඔබ මව් සමාන කාන්තාවන් ගැන මාතෘ චිත්තය පිහිටුවා ගන්න. සහෝදරිය සමාන කාන්තාවන් ගැන සොයුරී සිත පිහිටුවා ගන්න. දියණිය සමාන වූවන් ගැන දියණිය යන සිත පිහිටුවා ගන්න” කියලා. පින්වත් මහාරාජ, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙනවා තමයි. භද්‍ර යොවුන් වියෙහි ඉන්නවා තමයි. ජීවිතයේ පළමු වයසේ ඉන්නවා තමයි. පස්කම් සැප අනුභව කරලා නෑ තමයි. නමුත් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය තෙක් පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් ඒකට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.”

“භවත් භාරද්වාජයෙනි, මේ සිත කියන්නේ ලෝලී දෙයක්. ඇතැම් අවස්ථාවලදී මව් සමාන ස්ත්‍රීන් කෙරෙහි පවා ලෝභසිත් උපදිනවා. සොහොයුරිය සමාන ස්ත්‍රීන් කෙරෙහි පවා ලෝභසිත් උපදිනවා. දියණිය සමාන ස්ත්‍රීන් කෙරෙහි පවා ලෝභසිත් උපදිනවා. භවත් භාරද්වාජයෙනි, මේ කළු කෙස් ඇති තරුණ භික්ෂූන් ….(පෙ)…. බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් එයට වෙනත් හේතුවක් තියෙනවාද? වෙනත් ප්‍රත්‍යයක් තියෙනවාද?”

“පින්වත් මහාරාජ, දතයුතු සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. “එන්න පින්වත් මහණෙනි, ඔබ පා තලයෙන් උඩ සිට කෙස් මතුයෙන් පහළට, සම සීමා කොට නානාප්‍රකාර වූ අසූචිවලින් යුතු මේ කය ගැන ම නුවණින් විමසන්න. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිඳුලු, වකුගඩුව, හදවත, අක්මාව, දළඹුව, බඩදිව, පෙණහැල්ල, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, අසූචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කදුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍රා තියෙනවා කියලා.” පින්වත් මහාරාජ, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙනවා තමයි ….(පෙ)…. බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් ඒකට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.”

“භවත් භාරද්වාජයෙනි, යම් ඒ වඩන ලද කාය භාවනා ඇති භික්ෂූන් ඉන්නවා. ඒ භික්ෂූන් සිල් වඩලා තියෙනවා. සිත වඩලා තියෙනවා. ප්‍රඥාව වඩලා තියෙනවා. ඒ භික්ෂූන්ට නම් ඕක දුෂ්කර දෙයක් නොවෙයි. නමුත් භවත් භාරද්වාජයෙනි, යම් ඒ භික්ෂූන් ඉන්නවා, කාය භාවනා වඩලා නෑ, සිල් වඩලා නෑ, සිත වඩලා නෑ, ප්‍රඥාව වඩලා නෑ, ඔවුන්ට එය දුෂ්කරයි. භවත් භාරද්වාජයෙනි, ඇතැම් විට අසුභ වශයෙන් මෙනෙහි කරන්නෙමු කියලා සුභ වශයෙන් මෙනෙහි කිරීමටත් වැටෙනවා. භවත් භාරද්වාජයෙනි, මේ කළු කෙස් ඇති තරුණ භික්ෂූන් ….(පෙ)…. බඔසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් එයට වෙනත් හේතුවක් තියෙනවාද? වෙනත් ප්‍රත්‍යයක් තියෙනවාද?”

“පින්වත් මහාරාජ, දතයුතු සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. “එන්න පින්වත් මහණෙනි, ඔබ අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ වාසය කරන්න. ඇසින් රූප බලලා කෙලෙස් ඇතිවෙන නිමිති ගන්න අය වෙන්න එපා. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් ගන්න අය වෙන්ට එපා. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස රැක ගන්න. ඇස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා, ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන කෙලෙස් ඇතිවෙන නිමිති ගන්න අය වෙන්ට එපා. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් ගන්න අය වෙන්ට එපා. යම් හෙයකින් මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදින්න. මනස රැකගන්න. මනස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න” කියලා. පින්වත් මහාරාජ, යම් මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙනවා තමයි ….(පෙ)…. බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් ඒකට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.

භවත් භාරද්වාජයෙනි, ආශ්චර්යයයි. භවත් භාරද්වාජයෙනි, පුදුම සහගතයි. භවත් භාරද්වාජයෙනි, දතයුතු සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මොනතරම් සුභාෂිතයක් ද මේ වදාරළා තියෙන්නේ. භවත් භාරද්වාජයෙනි, මේ කළු කෙහෙ ඇති, සොඳුරු යොවුන් වියේ සිටින, ජීවිතයෙහි පළමු වයසේ සිටින කම්සැප අනුභව නොකළ යම් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය දක්වා පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් මුළුල්ලෙහි නොසිඳ රකිනවා කියන කරුණට මේක ම යි හේතුව. මේක ම යි ප්‍රත්‍යය.

භවත් භාරද්වාජයෙනි, මං වුණත් යම් වෙලාවක නො රක්නා ලද කයින්, නො රක්නා ලද වචනයෙන්, නොරක්නා ලද සිතින්, සිහියත් නො පිහිටුවාගෙන, ඉඳුරනුත් අසංවර කරගෙන ඇතුළු නුවරට පිවිසෙනවා නම්, ඒ වෙලාවෙහි දී බලවත් ලෝභ සිත් මාව පෙළනවා. නමුත් භවත් භාරද්වාජයෙනි, යම් වෙලාවකදී මං රක්නා ලද කයින්, රක්නා ලද වචනයෙන්, රක්නා ලද සිතින්, සිහියත් පිහිටුවා ගෙන, ඉඳුරනුත් සංවර කරගෙන ඇතුළු නුවරට පිවිසෙනවා නම්, ඒ වෙලාවේදී ලෝභ සිත් මාව පෙළන්නේ නෑ.

භවත් භාරද්වාජ ඉතා සුන්දරයි, භවත් භාරද්වාජ ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භවත් භාරද්වාජයන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. භවත් භාරද්වාජයෙනි, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. භවත් භාරද්වාජ, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවට ම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා…!

සාදු! සාදු!! සාදු!!!

භාරද්වාජ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-13-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M