72. සැවැත් නුවරදී ……….
එකල්හී ආයුෂ්මත් සුරාධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් සුරාධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළා.
“ස්වාමීනී, මොන විදිහට අවබෝධ කරගන්නා විට ද, මොන විදිහට දකිනා විට ද මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ටියෙහි බැස තිබෙන මානය බැහැර වුණ මනසක් ඇතිවෙන්නේ? හැම මාන කොටසක්ම ඉක්මවා ගිහින් ශාන්ත බවට පත්වෙලා මැනැවින් නිදහස් වෙන්නේ කොහොමද?”
“පින්වත් සුරාධ, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකලා කිසිවකට නොබැඳී මැනැවින් නිදහස් වෙලා යනවා.
අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද ….(පෙ)…. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද ….(පෙ)…. ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකලා කිසිවකට නොබැඳී මැනැවින් නිදහස් වෙලා යනවා.
පින්වත් සුරාධ, ඔය විදිහට අවබෝධ කරගන්නා විට තමයි, දැකගන්නා විට තමයි, මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ටියෙහි බැස තිබෙන මානය බැහැර වුණ මනසක් ඇතිවෙන්නේ. එතකොට තමයි හැම මාන කොටසක්ම ඉක්මවා ගිහින් ශාන්ත බවට පත්වෙලා මැනැවින් නිදහස් වෙන්නේ. ….(පෙ)…. ආයුෂ්මත් සුරාධයන් වහන්සේත් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
සාදු! සාදු!! සාදු!!!
සුරාධ සූත්‍රය නිමා විය.
දෙවෙනි අරහන්ත වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
උපාදිය සූත්‍රය, මඤ්ඤමාන සූත්‍රය, අභිනන්දන සූත්‍රය, අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, අනත්තනීය සූත්‍රය, රජනීය සූත්‍රය, රාධ සූත්‍රය, සුරාධ සූත්‍රය යන දේශනාවලින් දෙවෙනි වර්ගය සම්පූර්ණයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M