සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

7.2.11. සාමණේරී සුත්තං

7.2.11. සාමණේරී සූත්‍රය

382. ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං සාමණේරිං වේහාසං ගච්‌ඡන්‌තිං. තස්‌සා සංඝාටිපි ආදිත්‌තා සම්‌පජ්‌ජලිතා සජෝතිභූතා, පත්‌තෝපි ආදිත්‌තෝ සම්‌පජ්‌ජලිතෝ සජෝතිභූතෝ, කායබන්‌ධනම්‌පි ආදිත්‌තං සම්‌පජ්‌ජලිතං සජෝතිභූතං, කායෝපි ආදිත්‌තෝ සම්‌පජ්‌ජලිතෝ සජෝතිභූතෝ. සා සුදං අට්‌ටස්‌සරං කරෝති. තස්‌ස මය්‌හං ආවුසෝ ඒතදහෝසි. අච්‌ඡරියං වත භෝ අබ්‌භුතං වත භෝ, ඒවරූපෝපි නාම සත්‌තෝ භවිස්‌සති, ඒවරූපෝපි නාම යක්‌ඛෝ භවිස්‌සති, ඒවරූපෝපි නාම අත්‌තභාවපටිලාභෝ භවිස්‌සතී’ති. ….(පෙ)….

382. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන සාමණේරියක් දැක්කා. ඇය පොරවා සිටින සිවුරුත් සම්පූර්ණයෙන් ම ගින්නෙන් ඇවිලිලා දිලිසෙනවා. පාත්‍රයත් ගිනි අරගෙන දිලිසෙනවා. ඉණේ බැඳපු පටියත් ගිනි අරගෙන දිලිසෙනවා. මුළු කය ම ගිනි අරගෙන දිලිසෙනවා. එතකොට ඒ සාමණේරිය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) ….

අථ ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි. චක්‌ඛුභූතා වත භික්ඛවේ සාවකා විහරන්‌ති, ඤාණභූතා වත භික්ඛවේ සාවකා විහරන්‌ති. යත්‍ර හි නාම සාවකෝ ඒවරූපං ඤස්‌සති වා දක්‌ඛති වා සක්‌ඛිං වා කරිස්‌සති. පුබ්බේව මේ සා භික්ඛවේ සාමණේරී දිට්‌ඨා අහෝසි. අපි චාහං න බ්‍යාකාසිං. අහමේවේතං බ්‍යාකරෙය්‍යං, පරේ ච මේ න සද්‌දහෙය්‍යුං. යේ මේ න සද්‌දහෙය්‍යුං. තේසං තං අස්‌ස දීඝරත්‌තං අහිතාය දුක්‌ඛාය.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ සංඝයා අමතා වදාළා. “පින්වත් මහණෙනි, දිවැස් තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා, විශේෂ ඥානය තියෙන ශ්‍රාවකයන් ඉන්න නිසා මෙවැනි ආකාර ජීවිත පිළිබඳ ව දැනීමක් ගැන හෝ දැකීමක් ගැන හෝ සාක්ෂි ඉදිරිපත් කරනන්ට පුළුවනි. පින්වත් මහණෙනි, ඔය සත්වයාව මා ඔයිට කලින් දැක්කා. නමුත් මා ඒ ගැන ප්‍රකාශ කළේ නෑ. මම ඔය ගැන ප්‍රකාශ කළා නම් ශ්‍රද්ධාව නැති උදවිය ඔය කරුණ විශ්වාස නොකරන්නට තිබුණා. යමෙක් මා පවසන දේ විශ්වාස නොකරයි නම් ඔවුන්ට එය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා.

ඒසා භික්ඛවේ සාමණේරී කස්‌සපස්‌ස සම්‌මාසම්‌බුද්‌ධස්‌ස පාවචනේ පාපසාමණේරී අහෝසි. සා තස්‌ස කම්‌මස්‌ස විපාකේන බහූනි වස්‌සානි බහූනි වස්‌සසතානි බහූනි වස්‌සසහස්‌සානි බහූනි වස්‌සසතසහස්‌සානි නිරයේ පච්‌චිත්‌වා තස්‌සේව කම්‌මස්‌ස විපාකාවසේසේන ඒවරූපං අත්‌තභාවපටිලාභං පටිසංවේදයතී’ති.

පින්වත් මහණෙනි, ඔය සත්වයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පාපී සාමණේරියක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,

සාදු! සාදු!! සාදු!!!

සාමණේරී සූත්‍රය නිමා විය.

දෙවෙනි වර්ගය අවසන් විය.

ලක්ඛණ සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M