රජගහ නුවර දී…………..
පාවා නුවර වාසය කළ ඒ භික්ෂුන් වහන්සේලා ගණනින් තිස් නමක් විතර වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා ම වාසය කරන්නේ වනාන්තරයේ. ඒ වගේ ම පිණ්ඩපාතයෙනුයි ජීවත් වෙන්නේ. ඒ වගේ ම පාංශුකූල සිවුරුයි පොරවන්නේ. තුන් සිවුරු පමණයි පොරවන්නේ. ඒ නමුත් තවමත් කෙලෙස් බන්ධනයන්ගෙන් යුක්තයි. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩිවුණා.
එතකොට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇති වුණා. ‘පාවා නුවර වාසය කළ මේ භික්ෂුන් ගණනින් තිස් නමක් විතර වෙනවා. මේ භික්ෂුන් සියලු දෙනා ම වාසය කරන්නේ වනාන්තරයේ. ඒ වගේ ම පිණ්ඩපාතයෙනුයි ජීවත් වෙන්නේ. ඒ වගේ ම පාංශුකූල සිවුරුයි පොරවන්නේ. තුන් සිවුරු පමණයි පොරවන්නේ. ඒ නමුත් තවමත් කෙලෙස් බන්ධයන් ගෙන් යුක්තයි. ඉදින් මම මේ භික්ෂුන් ඔය ආසනවල සිටියදී ම උපාදාන රහිතව සියලු ආශ්‍රවයන් ගෙන් සිත් නිදහස් වෙනවා නම් ඒ විදිහේ ධර්මයක් මේ භික්ෂුන් හට කියා දෙන්න ඕන’ කියල.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ, “පින්වත් මහණෙනි” කියා ඒ භික්ෂුන් අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂුන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැකගන්න බෑ.
පින්වත් මහණෙනි, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ?
මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සැරිසරා ගිය මේ සසරේ ඔබ ගේ හිස ගසා දමද්දී වෑහුන, වැගිරුණ යම් රුධිරයක් වෙයි නම්, වඩාත් වැඩි ඒ රුධිරයද? නැත්නම් සතර මහා සාගරයේ ජලයද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය අපි දන්නේ මේ විදිහටයි. මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සැරිසරා යන මේ සසරේදී හිස ගැසුම් පහර ලද, අපෙන් වෑහුන වැගිරුණ යම් රුධිරයක් වෙයි නම් එය ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ.”
“සාදු! සාදු! පින්වත් මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය ඔබ දැන සිටින ආකාරය ඉතාමත් හොඳයි. පින්වත් මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සැරිසරා ගිය මේ සසරේ ඔබ ගේ හිස ගසා දමද්දී වෑහුන වැගිරුණ යම් රුධිරයක් වෙයි නම්, ඒ රුධිරය ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ. පින්වත් මහණෙනි, දීර්ඝ කාලයක් මුළුල්ලේ ගව යෝනියෙහි ගවයන්ව ඉපදිලා හිස ගැසුම් පහර කද්දී වෑහී ගිය, වැගිරී ගිය රුධිරයක් වෙයි නම් ඒ රුධිරය ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ මී හරක් යෝනියෙහි මී හරකුන්ව ඉපදිලා හිස ගැසුම් පහර කද්දී වෑහී ගිය, වැගිරී ගිය යම් රුධිරයක් වෙයි නම් ඒ රුධිරය ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවෙයි. දීර්ඝ කාලයක් මුළුල්ලේ එළු යෝනියෙහි එළුවන්ව ඉපදිලා හිස ගැසුම් පහර කද්දී …. (පෙ) …. දීර්ඝ කාලයක් මුළුල්ලේ බැටළු යෝනියෙහි බැටළුවන්ව ඉපදිලා හිස ගැසුම් පහර කද්දී …. (පෙ) …. දීර්ඝ කාලයක් මුළුල්ලේ මුව යෝනියෙහි මුවන්ව ඉපදිලා හිස ගැසුම් පහර කද්දී …. (පෙ) …. දීර්ඝ කාලයක් මුළුල්ලේ ඌරු යෝනියෙහි ඌරන්ව ඉපදිලා හිස ගැසුම් පහර කද්දී …. (පෙ) …. දීර්ඝ කාලයක් මුළුල්ලේ කුකුළු යෝනියෙහි කුකුළන්ව ඉපදිලා හිස ගැසුම් පහර කද්දී …. (පෙ) …. පින්වත් මහණෙනි, දීර්ඝ කාලයක් මුළුල්ලේ ගම් පහරණ සොරුන්ව සිටිය දී හිස ගැසුම් පහර කද්දී ඔබෙන් වෑහී ගිය, වැගිරී ගිය යම් රුධිරයක් වෙයි නම් ඒ රුධිරය ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ.
පින්වත් මහණෙනි, දීර්ඝ කාලයක මුළුල්ලේ මං පහරණ සොරුන්ව සිටියදී හිස ගැසුම් පහර කද්දී ඔබෙන් වෑහී ගිය, වැගිරී ගිය යම් රුධිරයක් වෙයි නම් …. (පෙ) …. පින්වත් මහණෙනි, දීර්ඝ කාලයක් මුළුල්ලේ පර ස්ත්‍රීන් සොයා යන සොරුන්ව සිටියදී හිස ගැසුම් පහර කද්දී ඔබෙන් වෑහී ගිය, වැගිරී ගිය යම් රුධිරයක් වෙයි නම් …. (පෙ) …. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ.
එයට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙයක් …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඒ භික්ෂුන් ද ඉතා සතුටු සිතින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පිළිගත්තා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දේශනය වදාරද්දී, ඒ පාවා නුවරවැසි තිහක් පමණ වූ භික්ෂුන්ගේ සිත් උපාදාන රහිතව ආශ්‍රවයන් ගෙන් නිදහස් වුණා.
සාදු! සාදු!! සාදු!!!
තිංසමත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M