මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවල ආයුෂ්මත් වංගීසයන් අරහත්වයට පත්වෙලා වැඩි දවසක් වුනේ නෑ. අරහත් ඵල සැපය විඳිමින් හිටියේ. ඒ වෙලාවේ තමයි මේ ගාථාවන් පැවසුවේ.
“කාව්‍යමය හැකියාව නිසා මං මත්වෙලා හිටියා. ඉතින් මං ගමෙන් ගමට නගරයෙන් නගරයට අවිදගෙන ගියා. අන්තිමේදී සම්බුදුරජාණන් වහන්සේව දැකගන්න ලැබුනා. මා තුළ උන්වහන්සේ ගැන ශ්‍රද්ධාවක් හටගත්තා.
ඒ බුදු සමිඳාණන් පංච උපාදානස්කන්ධය ගැන, මේ ආයතන ගැන, මේ ධාතු ස්වභාව ගැන මට ශ්‍රී සද්ධර්මය වදාළා. උන්වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ මං ගිහි ජීවිතේ අත්හැරලා මහණ වුනා.
ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙකුට යහපත සළසන්නමයි මුනිරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුනේ. ඒ භික්ෂූන්ටත් භික්ෂුණීන්ටත් නිවන් මග දැකගන්න පුළුවන් වුනා.
බුදු සමිඳුන් ළඟට මම මේ ආපු ගමන ඒකාන්තයෙන්ම මට යහපත් පැමිණීමක් වුනා. මමත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.
කළින් ගතකරපු ජීවිත ගැන මං දැන් දන්නවා. මං දිවැස් නුවණත් පිරිසිදු කරගත්තා. ත්‍රිවිද්‍යාව ඇතුව තමයි ඉර්ධිබලත් ලැබුවේ. අනුන්ගේ සිත් දකින්නත් මං දැන් දක්ෂයි.”
සාදු! සාදු!! සාදු!!!
පළමු වෙනි වංගීස වර්ගය අවසන් විය.
වංගීස සංයුත්තය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M