මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂුසංඝයා වහන්සේ සමඟ චම්පා නගරයෙහි ගග්ගරා නම් පොකුණු තෙර වැඩවාසය කළා. එදා ඇතුන් පුහුණු කරන කෙනෙකුගේ පුතෙක් වන පෙස්ස නම් තැනැත්තා ද, කන්දරක නම් තවුසා ද, භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පැමිණුනා. එසේ පැමිණි පෙස්ස නම් වූ ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුතා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව වාඩිවුනා. ඉන්පසු කන්දරක තවුසා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු සාමීචි කතා බහේ යෙදුනා. එකත්පස් ව සිටගත්තා. එකත්පස් ව සිටගත් කන්දරක තවුසා ඉතාමත් ම නිශ්ශබ්ද ව වැඩසිටින්නා වූ භික්ෂුසංඝයා දෙස හොඳින් නෙත් විහිදා බලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යය යි! භවත් ගෞතමයන් වහන්ස, අද්භූත යි! භවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂුසංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මගපෙන්වීම් කරල තියෙනවා. භවත් ගෞතමයන් වහන්ස, අතීතයෙහි යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ත්, භික්ෂුසංඝයාට ඉතාමත් මැනවින් මාර්ගය පෙන්වා දෙන්ට ඇත්තේ ඔය විදිහට ම යි. ඒ කියන්නේ වර්තමානයෙහි භවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂුසංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මගපෙන්වීම් කරන ආකාරයෙන් ම යි.
ඒ වගේ ම භවත් ගෞතමයන් වහන්ස, අනාගතයෙහි යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහලවන්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ත්, භික්ෂුසංඝයාට ඉතාමත් මැනවින් මාර්ගය පෙන්වා දෙනු ලබන්නේ ඔය විදිහට ම යි. ඒ කියන්නේ වර්තමානයෙහි භවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂුසංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මගපෙන්වීම් කරන ආකාරයෙන් ම යි.”
“පින්වත් කන්දරක, ඒක එහෙම ම තමයි. පින්වත් කන්දරක, ඒක එහෙම ම තමයි. පින්වත් කන්දරක, අතීතයෙහි යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ත්, භික්ෂුසංඝයාට ඉතාමත් මැනවින් මාර්ගය පෙන්වා දුන්නේ ඔය විදිහට ම යි. ඒ කියන්නේ වර්තමානයෙහි මා විසින් භික්ෂුසංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මගපෙන්වීම් කරන ආකාරයෙන් ම යි.
ඒ වගේ ම අනාගතයෙහි යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහලවන්නාහු ද, පින්වත් කන්දරක, ඒ භාග්‍යවතුන් වහන්සේ ත්, භික්ෂුසංඝයාට ඉතාමත් මැනවින් මාර්ගය පෙන්වා දෙනු ලබන්නේ ඔය විදිහට ම යි. ඒ කියන්නේ වර්තමානයෙහි මා විසින් භික්ෂුසංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මගපෙන්වීම් කරන ආකාරයෙන් ම යි.
පින්වත් කන්දරක, මේ වැඩසිටින්නා වූ භික්ෂුසංඝයා අතර ආශ්‍රවයන් ක්ෂය වූ, නිවන් මඟ සම්පූර්ණ කළ, කළ යුතු දේ කළ, කෙලෙස් බර බැහැර කළ, සැබෑ ම අර්ථය සාක්ෂාත් කළ, භව සංයෝජනයන් ක්ෂය කළ, මනාකොට ලත් අවබෝධයෙන් ම විමුක්තිය සාක්ෂාත් කළ රහතන් වහන්සේලා ඉන්නවා. ඒ වගේ ම කන්දරක, මේ වැඩසිටින්නා වූ භික්ෂුසංඝයා අතර ධර්ම මාර්ගයෙහි මැනවින් හික්මෙන භික්ෂූන් ඉන්නවා. ඒ භික්ෂූන් නිරතුරුව ම පිහිටි සිල් ඇතුව යි ඉන්නෙ. නිරතුරුව ම සීල සම්පන්න ව යි දිවි ගෙවන්නෙ. අවස්ථානුකූල ප්‍රඥාවෙන් යුක්ත යි. ඒ අවස්ථාවෝචිත ප්‍රඥාවෙනුයි දිවි ගෙවන්නෙ. ඒ භික්ෂූන් සතර සතිපට්ඨානය තුළ මැනවින් පිහිටුවා ගත් සිතින් යුක්ත ව යි වාසය කරන්නේ.
ඒ කවර සතර සතිපට්ඨානයක ද යත්; පින්වත් කන්දරක, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා.”
මෙසේ වදාළ විට, ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුත්‍රයා වන පෙස්ස නම් තැනැත්තා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සත්වයන් ගේ පිරිසිදු බව පිණිස, ශෝක වැළපීම් ඉක්ම යෑම පිණිස, දුක් දොම්නස් නැති වීම පිණිස, නිවන් මඟ අවබෝධ කිරීම පිණිස, ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස ඉතාමත් ම මැනවින් මේ සතර සතිපට්ඨානයන් වදාරලා තියෙනවා.
ස්වාමීනී, අපි සුදු වත් හඳින ගිහි උදවිය යි. අපි ත් කලින් කලට මේ සතර සතිපට්ඨානය තුළ මනාව සිත පිහිටුවා ගෙන වාසය කරනවා. ස්වාමීනී, මෙහිලා අපි කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ජීවිතය තුළ පවතින ලෝභය ත්, දොම්නස ත් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනා භාවනාවෙන් යුක්ත ව වාසය කරනවා.
ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, මෙවැනි වූ සඟවා ගන්නා ලද මනුෂ්‍ය ස්වභාව ඇති, ඒ කියන්නේ මෙවැනි වූ මනුෂ්‍ය කසට ඇති කල්හි, මෙවැනි වූ මනුෂ්‍ය කපටිකම් ඇති කල්හි තමයි භාග්‍යවතුන් වහන්සේ සත්වයන් ගේ යහපත-අයහපත ගැන අවබෝධයෙන් සිටින්නේ. ස්වාමීනී, මේ මිනිස්සු නම් ඉන්නෙ සැබෑ ස්වභාවය සඟවා ගෙන යි. නමුත්, ස්වාමීනී, සිව්පාවුන් නම් උන් ගේ ස්වභාවය ප්‍රකට කරනවා. ස්වාමීනී, මා ඇතුන් පුහුණු කරන්නට පුළුවන් කෙනෙක්. ඉතින්, මා සුළු මොහොතකින් චම්පා නගරයට යෑම් ඊම් කරනවා ද, ඒ වෙලාවට පවා ඒ ඇතුන් ගේ සෑම කපටි බවක්, කූට බවක්, වංක බවක්, ඇද බවක් ඇද්ද, ඒවා ප්‍රකට කරනවා. නමුත් ස්වාමීනී, අප ගේ දාසයන් වේවා, ඇත්ගොව්වන් වේවා, කම්කරුවන් වේවා යමෙක් සිටිත් ද, ඔවුන් කයින් වෙන ම හැසිරෙනවා. වචනයෙන් වෙන ම හැසිරෙනවා. සිතින් වෙන ම හැසිරෙනවා.
ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, මෙවැනි වූ සඟවා ගන්නා ලද මනුෂ්‍ය ස්වභාව ඇති, ඒ කියන්නේ මෙවැනි වූ මනුෂ්‍ය කසට ඇති කල්හි, මෙවැනි වූ මනුෂ්‍ය කපටිකම් ඇති කල්හි තමයි භාග්‍යවතුන් වහන්සේ සත්වයන් ගේ යහපත-අයහපත ගැන අවබෝධයෙන් සිටින්නේ. ස්වාමීනී, මේ මිනිස්සු නම් ඉන්නෙ සැබෑ ස්වභාවය සඟවා ගෙන යි. නමුත්, ස්වාමීනී, සිව්පාවුන් නම් උන් ගේ ස්වභාවය ප්‍රකට කරනවා.”
“පින්වත් පෙස්ස, ඒක එහෙම ම තමයි. පින්වත් පෙස්ස, ඒක එහෙම ම තමයි. පින්වත් පෙස්ස, මේ මිනිස්සු නම් ඉන්නෙ සැබෑ ස්වභාවය සඟවා ගෙන තමයි. සිව්පාවුන් නම් උන් ගේ ස්වභාවය ප්‍රකට කරනවා.
පින්වත් පෙස්ස, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් දකින්නට ලැබෙනවා. කවර පුද්ගලයන් සතර දෙනෙක් ද යත්; පින්වත් පෙස්ස, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමා ව පීඩාවට පත්කර ගන්නා කෙනෙක්. තමා ව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.
ඒ වගේ ම පින්වත් පෙස්ස, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන් ව පීඩාවට පත්කරන කෙනෙක්. අනුන් ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.
ඒ වගේ ම පින්වත් පෙස්ස, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමා ව පීඩාවට පත්කර ගන්නා කෙනෙක්. තමා ව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඒ වගේ ම අනුන් ව ත් පීඩාවට පත්කරන කෙනෙක්. අනුන් ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.
ඒ වගේ ම පින්වත් පෙස්ස, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමා ව පීඩාවට පත් නොකරගන්නා කෙනෙක්. තමා ව පීඩාවට පත් නොකරගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඒ වගේ ම අනුන් ව ත් පීඩාවට පත් නොකරන කෙනෙක්. අනුන් ව පීඩාවට පත් නොකරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඉතින් ඔහු තමා ව පීඩාවට පත් නොකරමින්, අනුන් ව පීඩාවට පත් නොකරමින්, මෙලොව දී ම තෘෂ්ණා රහිත ව නිවී යන කෙනෙක්. සිහිල් වූ කෙනෙක්. සැප විඳින කෙනෙක්. ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇතිව වසන කෙනෙක්.
පින්වත් පෙස්ස, මේ පුද්ගලයන් සතර දෙනාගෙන් ඔබගේ සිත පහදින්නේ කවර පුද්ගලයෙකුට ද?”
“ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් තමා ව පීඩාවට පත්කර ගන්නවා ද, තමා ව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, මේ පුද්ගලයා ගැන මගේ සිත පහදින්නේ නැහැ.
ඒ වගේ ම ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් අනුන් ව පීඩාවට පත්කරනවා ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද මේ පුද්ගලයා ගැන ත් මගේ සිත පහදින්නේ නැහැ.
ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් තමා ව පීඩාවට පත්කර ගන්නවා ද, තමා ව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, ඒ වගේ ම අනුන් ව පීඩාවට පත්කරනවා ද, අනුන් ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, මේ පුද්ගලයා ගැන ත් මගේ සිත පහදින්නේ නැහැ.
ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් තමා ව පීඩාවට පත් නොකරගන්නවා ද, තමා ව පීඩාවට පත් නොකරගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, ඒ වගේ ම අනුන් ව පීඩාවට පත් නොකරනවා ද, අනුන් ව පීඩාවට පත් නොකරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා ද, ඉතින් ඔහු තමා ව පීඩාවට පත් නොකරමින්, අනුන් ව පීඩාවට පත් නොකරමින්, මෙලොව දී ම තෘෂ්ණා රහිත ව නිවී යයි ද, සිහිල් වී යයි ද, සැප විඳී ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇතිව වාසය කරයි ද, මේ පුද්ගලයා ගැන තමයි මගේ සිත පහදින්නේ.”
“පින්වත් පෙස්ස, ඔබට අර කලින් කියපු පුද්ගලයන් තුන් දෙනා ගැන සිත නොපහදින්නේ මන්ද?”
“ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමා ව පීඩාවට පත්කර ගන්නවා නම්, තමා ව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති තමා ව ම යි පීඩාවට පත් කරගන්නේ. දුකට පත් කරගන්නේ. පෙලන්නේ. මෙන්න මේ කාරණය නිසයි, මේ පුද්ගලයා ගැන මගේ සිත නොපහදින්නේ.
ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන් ව පීඩාවට පත්කරනවා නම්, අනුන් ව පීඩාවට පත්කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති අනුන් ව යි පීඩාවට පත් කරන්නේ. පෙලන්නේ. මෙන්න මේ කාරණය නිසයි, මේ පුද්ගලයා ගැන මගේ සිත නොපහදින්නේ.
ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමා ව පීඩාවට පත්කර ගන්නවා නම්, තමා ව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති තමා ව යි පීඩාවට පත් කරගන්නේ. දුකට පත්වන්නේ. ඔහු අනුන් ව පීඩාවට පත්කරනවා නම්, අනුන් ව පීඩාවට පත්කරන වැඩපිළිවෙලෙහි බැසගෙන ඉන්නවා නම්, ඔහු සැපය කැමති, දුක අකමැති අනුන් ව යි පීඩාවට පත් කරන්නේ. දුකට පත් කරන්නේ. පෙලන්නේ. මෙන්න මේ කාරණය නිසයි, මේ පුද්ගලයා ගැන ත් මගේ සිත නො පහදින්නේ.
ස්වාමීනී, යම් මේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමා ව පීඩාවට පත්කර ගැනීම හෝ තමා ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක සිටීම හෝ කරන්නෙ නෑ. ඒ වගේ ම අනුන් ව පීඩාවට පත් කිරීම හෝ අනුන් ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක සිටීම හෝ කරන්නෙ නෑ. ඔය විදිහට ඔහු තමා ව පීඩාවට පත් නොකරමින්, අනුන් ව පීඩාවට පත් නොකරමින්, මෙලොව දී ම තෘෂ්ණා රහිත ව ඉන්නවා ද, නිවී සිහිල් වී, සැප විඳිමින් ඉන්නවා ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරනවා ද, අන්න ඒ තැනැත්තා සැප කැමති වූ, දුක් පිළිකුල් කරන තමා ව ත්, අනුන් ව ත් පීඩාවට පත් කරන්නෙ නෑ. පෙලන්නෙ නෑ. මේ කාරණය නිසයි මේ පුද්ගලයා ගැන මගේ සිත පහදින්නේ. හොඳයි ස්වාමීනී, එහෙම නම් දැන් අපි යන්නම්. අපට බොහෝ කටයුතු තියෙනවා නෙව. වැඩ තියෙනවා නෙව.”
“පින්වත් පෙස්ස, දැන් යමකට කාලය නම්, එය ඔබ දැනගන්න.” ඉතින් ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුත්‍රයා වූ පෙස්ස භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, පැදකුණු කොට පිටත්ව ගියා.
එවේලෙහි ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුත්‍රයා වූ පෙස්ස පිටත් ව ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුත්‍රයා වූ පෙස්ස හරි ම නුවණැති කෙනෙක්. පින්වත් මහණෙනි, ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුත්‍රයා වූ පෙස්ස මහා ප්‍රඥාවන්ත කෙනෙක්. පින්වත් මහණෙනි, ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුත්‍රයා වූ පෙස්ස මා මේ පුද්ගලයන් හතර දෙනා විස්තර වශයෙන් විග්‍රහ කරන කල් සුළු වෙලාවක් හිටියා නම්, මහත් යහපතක් සලසාගෙන යන්නට තිබුනා. නමුත් පින්වත් මහණෙනි, එපමණකින් වුනත් ඇතුන් පුහුණු කරන කෙනා ගේ පුත්‍රයා වූ පෙස්ස මහත් යහපතක් සලසා ගත්තා.”
“භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි, සුගතයන් වහන්ස, මේ එයට කාලය යි. භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයන් සතර දෙනා පිළිබඳ ව විස්තර වශයෙන් යම් විග්‍රහයක් වදාරණ සේක් ද, එය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා භික්ෂූන් සිත් හි ලා දරා ගන්නවා ම යි.”
“එසේ වී නම්, පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න, මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, තමාව පීඩාවට පත් කරගන්නා වූ, තමාව පීඩාවට පත් කරගන්නා පිළිවෙතෙහි සිටින්නා වූ පුද්ගලයා කවරහු ද? පින්වත් මහණෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අත්හළ සිරිත් ඇති නිරුවත් කෙනෙක්. අතින් ආහාර පිළිගෙන අත ලෙවකන කෙනෙක්. ඔහු ‘ස්වාමීනී, වඩින්න’ කියද්දී එන්නෙ නෑ. ‘ස්වාමීනී, සිටින්න’ කියද්දී ඉන්නෙ නෑ. තමා උදෙසා ගෙනා දන් පිළිගන්නෙ නෑ. තමා උදෙසා පිසූ දන් පිළි ගන්නෙ නෑ. ඇරයුම් පිළිගන්නෙ නෑ. වළඳේ උඩ කොටසින් දෙන දන් පිළි ගන්නෙ නෑ. බඳුනේ උඩ කොටසින් දෙන දන් පිළිගන්නෙ නෑ. එළිපත්තේ සිට දෙන දන් පිළිගන්නෙ නෑ. ඉඳිකඩුල්ල ළඟ සිට දෙන දන් පිළිගන්නෙ නෑ. මොහොල් අතර සිට දෙන දන් පිළිගන්නෙ නෑ. දෙදෙනෙක් අනුභව කරද්දී එක් කෙනෙක් නැගිට දෙන දන් පිළිගන්නෙ නෑ. ගැබිණිය විසින් දෙන දන් පිළිගන්නෙ නෑ. කිරිපොවන්නිය විසින් දෙන දන් පිළිගන්නෙ නෑ. පුරුෂයන් අතරට ගිය තැනැත්තිය විසින් දෙන දන් පිළිගන්නෙ නෑ. නම් ගොත් පවසා දෙන දන් පිළිගන්නෙ නෑ. සුනඛයෙක් පැමිණ සිටිය දී, ඌට නො දී දෙන දන් පිළිගන්නෙ නෑ. මැස්සන් පොදි පොදි ගැහී සිටින තැන දී දෙන දන් පිළි ගන්නෙ නෑ. මාළු, මස්, සුරා, මේරය, සෝවීරක පානය පිළිගන්නෙ නෑ.
ඔහු එක ගෙදරකින් භික්ෂාව ලබාගෙන එක බත් පිඬකින් යැපෙනවා. ගෙවල් දෙකකින් භික්ෂාව ලබාගෙන බත් පිඬු දෙකකින් යැපෙනවා ….(පෙ)…. ගෙවල් සතකින් භික්ෂාව ලබාගෙන බත් පිඬු සතකින් යැපෙනවා. කුඩා බත් තලියකින් යැපෙනවා. බත් තලි දෙකකින් යැපෙනවා. ….(පෙ)…. බත් තලි සතකින් යැපෙනවා. දවසකට වරක් ආහාර ගන්නවා. දෙ දවසකට වරක් ආහාර ගන්නවා. ….(පෙ)…. සත් දවසකට වරක් ආහාර ගන්නවා. ඔය විදිහට අඩ මසකට වරක් ආහාර වෙන් කොට වළඳන කෙනෙක් වෙනවා.
ඒ වගේ ම ඔහු අමු කොළ වර්ග වළඳනවා. බඩහමු වළඳනවා. ඌරුහැල් වළඳනවා. සම් තැම්බූ කසට වළඳනවා. මැලියම් වර්ග වළඳනවා. සුණුසහල් වළඳනවා. බත් පෙණ වළඳනවා. තල ඇට වළඳනවා. තණකොළ වළඳනවා. ගොම වළඳනවා. ගස් වල මුල්, ගෙඩි වළඳනවා. ගස්වලින් වැටුණු ගෙඩි වළඳනවා.
ඒ වගේ ම ඔහු හණවැහැරි පොරවනවා. නොයෙක් නූල් මිශ්‍ර කළ රෙදි පොරවනවා. මිනී ඔතපු රෙදි, කසල ගොඩින් ගත් රෙදි, ගස් පොතු වලින් කළ රෙදි පොරවනවා. අඳුන් දිවි සම් පොරවනවා. අඳුන් මුව සම්, කුස තණ වලින් කළ වැහැරි පොරවනවා. එළු සමින් කළ වැහැරි පොරවනවා. දර පතුරු වලින් කළ රෙදි, කේශකම්බිලි පොරවනවා. අස්ලෝමයෙන් කළ කම්බිලි පොරවනවා. බකමුහුණු පියාපතින් කළ කම්බිලි පොරවනවා. කෙස්, ලොම් උදුරා දමනවා. කෙස්, ලොම් උදුරන වැඩපිළිවෙලෙහි යෙදී ඉන්නවා. ආසන ප්‍රතික්ෂේප කරනවා. උඩුබැල්ලෙන් ඉන්නවා. උක්කුටියෙන් ඉන්නවා. කටු ගහපු ලෑලි මත වාඩි වී ඉන්නවා. කටු ගහපු ලෑලි මත නිදා ගන්නවා. උදේ, දහවල්, සවස වශයෙන් දවසට තුන් වතාවක් වතුරේ බැහැලා කිමිදිලා ඉන්නවා. ඔන්න ඔය ආකාරයට ශරීරයට නොයෙක් ආකාරයේ දැවෙන, තැවෙන, පීඩා වෙන වැඩපිළිවෙලේ යෙදී ඉන්නවා. පින්වත් මහණෙනි, තමා ව පීඩාවට පත් කරන පිළිවෙතෙහි සිටින්නා වූ, තමා ව පෙළන්නා වූ පුද්ගලයා කියල යි මොහුට කියන්නෙ.
පින්වත් මහණෙනි, අනුන් ව පීඩාවට පත් කරන්නා වූ, අනුන් ව පීඩාවට පත් කරවන පිළිවෙතෙහි සිටින්නා වූ පුද්ගලයා කවරහු ද? පින්වත් මහණෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු එළුවන් මරණ කෙනෙක්. ඌරන් මරණ කෙනෙක්. කුරුල්ලන් මරණ කෙනෙක්. මුවන් මරණ කෙනෙක්. ඔහු රෞද්‍ර යි. මත්ස්‍ය ඝාතනයේ යෙදෙන කෙනෙක්. සොරෙක්. චෝර ඝාතකයෙක්. බන්ධනාගාරගත වී ඉන්න කෙනෙක්. තවත් යම් කෲරකම් ඇත් ද, ඒවා ත් කරනවා. පින්වත් මහණෙනි, අන්‍යයන් පීඩාවට පත් කරන පිළිවෙතෙහි සිටින්නා වූ, අනුන් පෙළන්නා වූ පුද්ගලයා කියල යි මොහුට කියන්නෙ.
පින්වත් මහණෙනි, තමා ව පීඩාවට පත් කරගන්නා වූ, තමා ව පීඩාවට පත් කරගන්නා පිළිවෙතෙහි සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන් ව පීඩාවට පත් කරන්නා වූ, අනුන් ව පීඩාවට පත් කරවන පිළිවෙතෙහි සිටින්නා වූ ද පුද්ගලයා කවරහු ද? පින්වත් මහණෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ඔටුණු පැළඳූ රජෙක් වෙන්නට පුළුවනි. එසේ නැත්නම්, මහාසාර කුලයේ උපන් බමුණෙක් වෙන්නට පුළුවනි. ඔහු නුවරට නැගෙනහිරින් අලුත් යාග ශාලාවක් කරවනවා. ඊට පස්සෙ කෙස්, රැවුල් බාලා අඳුන් දිවි සමක් පොරෝගන්නවා. ගිතෙලින් ශරීරය ඉලීම් පිරිමැදීම් කරනවා. මුවෙකු ගේ අඟකින් පිට කසනවා. රාජමහේසිකාව හා පුරෝහිත බමුණා සමඟ යාග ශාලාවට පිවිසෙනවා. ඉතින් ඔහු අමු ගොම තැවරූ, අමු කොළ අතුල බිම හාන්සි වෙනවා. මව් වැස්සියට සමාන වූ රූප ඇති වසු පැටියෙකු සිටින එළදෙනක ගේ එක් තන පුඩුවකින් යම් කිරක් වැගිරෙයි ද, එයින් රජු යැපෙනවා. දෙවෙනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් මහේසිකාව යැපෙනවා. තුන්වෙනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් පුරෝහිත බමුණා යැපෙනවා. සිව් වෙනි තන පුඩුවෙන් යම් කිරක් වැගිරෙයි ද, එයින් ගිනි පුදනවා. අනිත් තන පුඩු වලින් වහු පැටියා යැපෙනවා. ඊට පස්සේ ඔහු මෙහෙම කියනවා. ‘යාගය පිණිස මෙපමණ හොඳින් වැඩුණු වෘෂභයෝ නසත්වා! යාගය පිණිස මෙපමණ තරුණ ගවයෝ නසත්වා! යාගය පිණිස මෙපමණ ගව නෑම්බියෝ නසත්වා! යාගය පිණිස මෙපමණ බැටලුවෝ නසත්වා! යාගය පිණිස මෙපමණ එළුවෝ නසත්වා! යාගය පිණිස මෙපමණ වෘක්ෂයෝ සිඳිනු ලබත්වා! යාගයට ඇතිරීම පිණිස මෙපමණ කුස තණ කපනු ලබත්වා!’ එතකොට ඔහුට සිටින යම් දාසයෝ වෙත් ද, යම් ඇත්ගොව් ආදීන් වෙත් ද, යම් කම්කරුවෝ වෙත් ද, ඔවුනුත් දඬුවමට තැති ගන්නවා. බියෙන් තැති ගන්නවා. කඳුළු වගුරුවා ගත් මුහුණින් යුතුව තමයි යාගයට ආවතේව කරන්නේ. පින්වත් මහණෙනි, තමා ව ත් පීඩාවට පත්කරවන වැඩපිළිවෙලක යෙදෙමින්, තමා ව ද පෙළන්නා වූ, අනුන් ව ත් පීඩාවට පත්කරවන වැඩපිළිවෙලක යෙදෙමින්, අනුන් ව ද පෙළන්නා වූ පුද්ගලයා කියල යි මොහුට කියන්නේ.
පින්වත් මහණෙනි, තමා ව පීඩාවට පත්කර නො ගන්නා වූ ද, තමා ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන් ව පීඩාවට පත් නො කරන්නා වූ ද, අනුන් ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, මෙලොව දී ම තෘෂ්ණා රහිත ව සිටින්නා වූ ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටින්නා වූ ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරන්නා වූ ද පුද්ගලයා කවරහු ද?
පින්වත් මහණෙනි, මෙහිලා අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරන ලද ධර්මය දේශනා කරනවා. ඒ තථාගතයන් වහන්සේ මුල කල්‍යාණ වූ, මධ්‍යයෙහි කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් හෙබි, ධර්මය දේශනා කරනවා. මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු වූ නිවන් මඟ බඹසර ප්‍රකාශ කරනවා.
එතකොට ගෘහපතියෙක් හෝ වේවා, ගෘහපති පුත්‍රයෙක් හෝ වේවා, යම් කිසි කුලයක උපන් කෙනෙක් ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය ඇසීමෙන් පසු තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත ව මේ අයුරින් නුවණින් සලකා බලනවා. ‘ගෘහ වාසය කරදර සහිත යි. කෙලෙස් උපදවන මගකුයි තියෙන්නෙ. නමුත් පැවිදි බව අභ්‍යාවකාශය වගෙ යි. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට ඒකාන්ත පරිපූර්ණ වූ, ඒකාන්ත පාරිශුද්ධ වූ, පිරිසිදු කළ සංඛයක් බඳු වූ මේ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන එක ලෙහෙසි දෙයක් නො වෙයි. මා ගිහිගෙයින් නික්ම කෙස්, රැවුල් බහා කසාවත් දරා, සසුනෙහි පැවිදි වෙන එක තමයි හොඳ’ කියා නුවණින් සලකනවා. ඉතින් ඔහු පසු කලෙක ස්වල්ප වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. මහත් වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. මහත් වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. ගිහි ගෙයින් නික්මෙනවා. කෙස් රැවුල් බහා, කසාවත් දරා, සසුනෙහි පැවිදි වෙනවා.
ඔහු ඔය අයුරින් උතුම් පැවිදි ජීවිතේ ලැබුවට පස්සේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂා පද තමනුත් රකිනවා. ප්‍රාණඝාතය දුරු කරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු-මුගුරු අත්හරිනවා. අවි-ආයුධ අත්හරිනවා. ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. හොරකම අත්හරිනවා. හොරකමින් වළකිනවා. දුන් දේ විතරක් ගන්නවා. දුන් දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. අයහපත් හැසිරීමෙන් දුරු වෙනවා. ලාමක දෙයක් වන මෛථූනයෙන් වළකිනවා. බොරුව අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සත්‍යවාදී වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා. ස්ථිර වචන කියනවා. ඇදහිය යුතු දේ කියනවා. ලෝකයා අවුල් වෙන දේ කියන්නෙ නෑ. කේළම අත්හරිනවා. කේළමින් වළකිනවා. මෙතනින් අහල මේ අය බිඳවන්න එතන එකක් කියන්නෙ නෑ. එතනින් අහල ඒ අය බිඳවන්න මෙතන කියන්නෙ නෑ. බිඳිච්ච අය සමඟි කරනවා. සමඟි බව ඇති කරනවා. සමඟියට කැමති වෙනවා. සමඟියේ ඇලෙනවා. සමඟි බවේ සතුටු වෙනවා. සමඟිය ඇති වෙන දේ ම කියනවා. පරුෂ වචනය අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. දොස් රහිත දේ කියනවා. කනට මිහිරි දේ කියනවා. සෙනෙහෙබර වචන කියනවා. හෘදයාංගම වචන කියනවා. දැන උගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති ප්‍රියමනාප වචන කියනවා. හිස් දෙඩවිලි අත්හරිනවා. හිස් දෙඩවිල්ලෙන් වළකිනවා. සුදුසු කාලයට කතා කරනවා. ඇත්ත දෙය කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මය කතා කරනවා. විනය කතා කරනවා. මතක තබාගන්නට වටින දේ කතා කරනවා. වෙලාවට ගැලපෙන උපදේශ සහිත වූ, මදිපාඩුකම් නො තබා, ප්‍රමාණවත් පරිදි, දොලොව යහපත පිණිස වූ දේ කතා කරනවා.
ඒ භික්ෂුව ගස් කොළන් වැනසීමෙන් වළකිනවා. උදේ වරුවෙහි කැප සරුප් දේ විතරක් වළඳනවා. රාත්‍රී ආහාරය වූ විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දර්ශන වලින් වළකිනවා. මල්, සුවඳ විලවුන් වලින් සැරසීමෙන්, හැඩ වැඩ වීමෙන් වළකිනවා. සැප පහසු ආසන පරිහරණයෙන් වළකිනවා. රන්, රිදී, කහවනු ආදිය පිළිගැනීමෙන් වළකිනවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වළකිනවා. එළුවන් පිළිගැනීමෙන් වළකිනවා. කුකුලන්, ඌරන් පිළිගැනීමෙන් වළකිනවා. ඇතුන්, ගවයන්, අශ්වයන් පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු, වතුපිටි පිළිගැනීමෙන් වළකිනවා. ගිහියන් ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. වෙළඳ ගණුදෙනු වලින් වළකිනවා. හොරට තරාදියෙන් කිරන එක, හොරට මනින එක ආදියෙන් වළකිනවා. අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙන්නල රැවටීමෙන් වළකිනවා. කට්ටකම් වලින් වළකිනවා. අත් පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මං පැහැරීම්, ගම් පැහැරීම්, සාහසිකකම් යන මේවායින් වළකිනවා.
ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. කය පොරවන සිවුරෙනුත්, කුස පිරෙන ප්‍රමාණයේ පිණ්ඩපාතයෙනුත් සතුටු වෙනවා. ඔහු යන යන තැන පාත්තරෙ යි, සිවුරු යි විතරක් ගෙනියනවා. ළිහිණි කුරුල්ලෙක් යන යන තැන පියාපත් බර විතරක් අරගෙන යනවා වගෙ යි. ඔන්න ඔය විදිහට යි භික්ෂුව ලද දෙයින් සතුටු වෙන්නෙ. කය පොරවන සිවුරෙනුත් කුස පිරෙන පිණ්ඩපාතෙනුත් සතුටු වෙනවා. ඔහු යම් තැනක යනවා නම්, පාත්‍ර සිවුරු විතරක් අරගෙන යනවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්විත වෙලා නිවැරදි ජීවිතය ගැන තමන් තුළ මහත් සතුටක් ලබනවා.
ඒ භික්ෂුව ඇසින් රූප දැකල එහි සටහන් ගන්නෙ නෑ. කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. ඇස අසංවර ව ඉන්න කොට, ආශාව, තරහ වගේ පාපී අකුසල් දේවල් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න දේකට පත්වෙන්නෙ නෑ. තමන් ගේ ඇස සංවර කරගන්නවා. ඇස රකිනවා. ඇසේ සංවරකමට පැමිණෙනවා. කනින් ශබ්ද අහල ….(පෙ)…. නාසයෙන් ගඳ – සුවඳ දැනගෙන ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස දැනගෙන ….(පෙ)…. මනසින් අරමුණු දැනගෙන ඒ මනස අසංවර ව හිටියොත්, ආශාව, තරහ වගේ පාපී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇති වෙනවා නම් එබඳු නිමිති ගන්නෙ නෑ. එබඳු නිමිතිවල කුඩා සටහනක් වත් ගන්නෙ නෑ. මනසේ සංවරයට පැමිණෙනවා. මනස රකිනවා. මනස සංවර කරගන්නවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුතුව තමන් තුළ පීඩා රහිත වූ මහත් සැපයක් විඳිනවා.
ඉතින් ඒ භික්ෂුව ඉදිරියට යන කොට, ආපසු එන කොට මනා සිහි නුවණින් යුක්ත ව එය කරනවා. ඉදිරිය බලන කොට, වටපිට බලන කොට මනා සිහි නුවණින් යුක්ත ව එය කරනවා. අත පය හකුළන කොට, දිගහරින කොට මනා සිහි නුවණින් යුක්ත ව එය කරනවා. දෙපොට සිවුරු, තනිපොට සිවුරු, පාත්තර පරිහරණය කරන කොට මනා සිහි නුවණින් යුක්ත ව එය කරනවා. යමක් වළඳන කොට, පානය කරන කොට, සපා කන කොට, රස විඳින කොට, මනා සිහි නුවණින් යුක්ත ව එය කරනවා. වැසිකිළි කැසිකිළි යන කොට ත් මනා සිහි නුවණින් යුක්ත ව එය කරනවා. ඇවිදින කොට, නැවතී ඉන්න කොට, වාඩි වෙන කොට, නිදන කොට, නිදිවරන කොට, කතා කරන කොට, නිශ්ශබ්ද ව ඉන්න කොට, මනා සිහි නුවණින් යුක්ත ව එය කරනවා.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකිනුත් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ සිහිකල්පනාවකිනුත් යුක්ත වෙලා දුර ඈත වන සෙනසුන්වල ඉන්නවා. අරණ්‍යවල ඉන්නවා. රුක් සෙවනෙ, පර්වතයෙ, දිය ඇලි අසල, ගිරි ගුහා, සොහොන්, වනගොමු, නිදහස් තැන්, පිදුරු ගෙවල් ආදියෙහි වාසය කරනවා.
ඉතින් ඒ භික්ෂුව පිණ්ඩපාතය වැළඳුවට පස්සේ පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය ඍජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. ඔහු ජීවිතේ නම් වූ ලෝකය ගැන තියෙන ඇල්ම දුරු කරනවා. ආශාවෙන් තොර වූ සිතින් වාසය කරනවා. ආශාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. තරහ අත්හරිනවා. තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. තරහ බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. ථීනමිද්ධය අත්හරිනවා. ථීනමිද්ධයෙන් තොර ව ඉන්නවා. හොඳ සිහි කල්පනාවෙන් යුතුව ආලෝක සඤ්ඤාව ඇති කරගන්නවා. ථීනමිද්ධය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. උද්ධච්ච-කුක්කුච්ච අත්හරිනවා. හිතේ ඇවිස්සීමකින් තොර ව වාසය කරනවා. තමා තුළ ශාන්ත සිතක් ඇති කරගන්නවා. උද්ධච්ච කුක්කුච්ච බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. විචිකිච්ඡාව අත්හරිනවා. විචිකිච්ඡාවෙන් තොර ව ඉන්නවා. කුසල් දහම් ගැන ‘කෙසේ ද, කෙසේ ද’ කියන සැකය අත්හරිනවා. සැකය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා.
ඒ භික්ෂුව ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ මේ නීවරණ පහ අත්හරිනවා. ඊට පස්සෙ කාමයෙන් වෙන් ව, අකුසල්වලින් වෙන් ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානය ත් ලබාගෙන වාසය කරනවා. ඊළඟට ප්‍රීතියට ඇලෙන්නෙ ත් නැතිව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්ත ව, සිහියෙන් යුක්ත ව සැප සේ වාසය කරනවා’ කියන ඒ තුන්වෙනි ධ්‍යානය ත් ලබාගෙන වාසය කරනවා. සැප ද, දුක ද නැති කිරීමෙන්, කලින් ම මානසික සැප දුක් දෙකින් ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාව ත්, සිහිය ත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා.
ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්නට සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයේ ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නෙ; එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දාහක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප ගණන් සිහි කරනවා. ‘ඒ කාලෙ මගේ නම මේක යි, ගෝත්‍රය මේක යි, හැඩ රුව මෙහෙම යි, මේව තමයි කෑවෙ බිව්වෙ, සැප දුක් වින්ඳෙ මෙහෙම යි. මැරිල ගියේ මෙහෙම යි. ඒ මං එතනින් චුත වෙලා අතන උපන්නා. එතකොට මගේ නම මේක යි, ගෝත්‍රය මේක යි, හැඩ රුව මෙහෙම යි, මේව තමයි කෑවෙ බිව්වෙ, සැප දුක් වින්ඳෙ මෙහෙම යි. මැරිල ගියේ මෙහෙම යි. ඒ මං එතනින් චුත වෙලා මෙතන උපන්නා. ඔය විදිහට කරුණු සහිත ව, පැහැදිලි විස්තර ඇති ව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. එතකොට ඔහු සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන, උපදින සත්වයන් දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූප ව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරලා, වචනින් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටික ව කටයුතු කරමින් ඉඳලා, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නවා. දුගතියෙ ඉපදිලා ඉන්නවා. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නවා’ කියලා. ඒ වගේ ම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිලා, වචනයෙන් සුචරිතයේ යෙදිලා, මනසින් සුචරිතයේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට අපහාස නො කොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳලා, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියාවල යෙදිලා, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියලා. මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන, උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගති වල කර්මානුරූප ව සත්වයන් උපදින හැටි දකිනවා.
ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල් වී තිබුනා ම, අකම්පිත වුනා ම, ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබාගන්නට සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රවයන් ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා.
ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැන ගන්න කොට, යථාර්ථය දැක ගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනා ම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙ කවදාවත් සසරට වැටෙන්නෙ නෑ’ කියල දැනගන්නවා.
පින්වත් මහණෙනි, තමා ව පීඩාවට පත්කර නො ගන්නා වූ ද, තමා ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන් ව පීඩාවට පත් නො කරන්නා වූ ද, අනුන් ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, මෙලොව දී ම තෘෂ්ණා රහිත ව සිටින්නා වූ ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටින්නා වූ ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරන්නා වූ ද පුද්ගලයා කියන්නෙ මොහුට යි.”
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
කන්දරක තවුසා නිසා වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M