මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ජානුස්සෝණි නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා කොට එකත්පස්ව ඉඳගත්තා. එකත්පස්ව හුන් ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා.
“භවත් ගෞතමයන් වහන්ස, මේ පින්වත් කුල පුත්‍රයන් ගිහි ජීවිතය අත්හැර ශාසනය කෙරෙහි පැහැදී පැවිදි වෙලා ඉන්නේ භවත් ගෞතමයන් වහන්සේ උදෙසා ම යි. ඉතින් ඒ භික්ෂූන්ට පුරෝගාමීව සිටින්නේ භවත් ගෞතමයන් වහන්සේ තමයි. ඒ භික්ෂූන්ට උපකාරීව සිටින්නේ ද භවත් ගෞතමයන් වහන්සේ තමයි. ඒ භික්ෂූන් යහපතෙහි සමාදන් කරවන්නේ ද භවත් ගෞතමයන් වහන්සේ තමයි. එතකොට ඒ භික්ෂු පිරිස භවත් ගෞතමයන් වහන්සේගේ ආකල්පවලට අනුව ම යි ඉන්නෙ.”
“පින්වත් බ්‍රාහ්මණය, ඒක ඒ විදිහම යි. පින්වත් බ්‍රාහ්මණය, ඒක ඒ විදිහම යි. ‘මා උදෙසා ම යි ඒ පින්වත් කුල පුතුන් ගිහි ජීවිතය අත්හැර ශාසනය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ම පැවිදි බවට පත්වෙලා ඉන්නේ. ඉතින් මම ඒ භික්ෂූන්ට පුරෝගාමී වෙනවා. මම ඔවුන්ට වඩාත් උපකාරී වෙනවා. මම ඔවුන්ව යහපතෙහි සමාදන් කරවනවා. ඇත්තෙන් ම ඒ භික්ෂු පිරිස මාගේ ආකල්ප වලට අනුව තමයි ඉන්නෙ.”
“එහෙත් භවත් ගෞතමයන් වහන්ස, දුර ඈත පිහිටි අරණ්‍ය සේනාසනවල, වනාන්තරවල, කුටිවල වාසය කිරීම ඉතා දුෂ්කර දෙයක් නේද? හුදෙකලාවේ භාවනාවෙන් වාසය කිරීම දුෂ්කරයි නේද? චිත්ත ඒකාග්‍රතාවයෙහි ඇලී වාසය කිරීම දුෂ්කරයි නේද? මට හිතෙන්නේ සමාධිය නොලබන භික්ෂුව ගේ මනස මේ වනාන්තරය විසින් ගිලගන්නවා කියලයි.”
“පින්වත් බ්‍රාහ්මණය, ඒක ඒ විදිහම යි. පින්වත් බ්‍රාහ්මණය, ඒක ඒ විදිහම යි. පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන් ම දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනාන්තරවල, වනගත කුටිවල වාසය කිරීම දුෂ්කර දෙයක්. හුදෙකලාවේ භාවනාවේ යෙදීම දුෂ්කර එකක්. චිත්ත ඒකාග්‍රතාවයට ඇලී සිටීම දුෂ්කර එකක්. මං හිතන්නෙත් සමාධිය නොලබන භික්ෂුවගේ මනස වනාන්තරය විසින් ගිල ගන්නවා කියලයි.
පින්වත් බ්‍රාහ්මණය, සම්බුද්ධත්වයට පෙර ම සම්බුදු නොවී, බෝධිසත්ව කෙනෙක් වශයෙන් සිටිය දී මට ඇතිවුණෙත් ඔය අදහස ම යි. ඒ කියන්නෙ දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනාන්තරවල, දුර ඈත වනගත කුටිවල වාසය කිරීම දුෂ්කර එකක්. ඒ වගේ තැන්වල හුදෙකලාවේ භාවනාවේ යෙදීම දුෂ්කර එකක්. චිත්ත ඒකාග්‍රතාවයේ ඇලී සිටීම දුෂ්කර එකක්. මං හිතන්නෙ සමාධිය නොලබන භික්ෂුවගේ මනස වනාන්තරය විසින් ගිලගන්නවා කියලයි.”
පින්වත් බ්‍රාහ්මණය, එතකොට මම හිතුවෙ මෙහෙමයි. චරිතය අපිරිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම චරිතය අපිරිසිදු කරගැනීම නම් වූ තමන්ගේ ම දෝෂය හේතු කරගෙන ම යි, ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. ඉතින්, මම අපිරිසිදු චරිතයක් තියෙන කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල ඉන්න කෙනෙක්. ඒ වගේ ම මම පිරිසිදු චරිතයක් ඇති කෙනෙක්. ආර්යයන් වහන්සේලා පිරිසිදු චරිතයකින් යුක්තවයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. ඉතින් මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මම මා තුළින් ම පිරිසිදු චරිතවත් බව දකින නිසයි, දුර ඈත වනාන්තරවල, දුර ඈත වනගත කුටිවල කිසි බියක් සැකක් නැතුව ඉන්න පුළුවන් වුනේ.
පින්වත් බ්‍රාහ්මණය, ඉතින් මට මේ විදිහටත් හිතුනා. වචන භාවිතයේ පිරිසිදු නැති ශ්‍රමණ බ්‍රාහ්මණයින් ….(පෙ)…. මානසිකව අපිරිසිදු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ….(පෙ)…. දිවි පැවැත්ම අපිරිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණයින් දුර ඈත අරණ්‍යවල, වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම තමන්ගේ දිවි පැවැත්ම අපිරිසිදු කරගැනීම නම් වූ තමන්ගේ දෝෂය හේතු කරගෙන ම යි, ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳව ගන්නෙ. නමුත්, මම අපිරිසිදු දිවිපැවැත්මක් තියෙන කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල ඉන්න කෙනෙක්. මම පිරිසිදු දිවි පැවැත්මක් ඇති කෙනෙක්. ආර්යයන් වහන්සේලා පිරිසිදු දිවිපැවැත්මකින් යුක්තවයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. ඉතින් මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මම මා තුළින් ම පිරිසිදු ජීවිතයක් දකින නිසයි, දුර ඈත වනාන්තරවල කිසි බියක් සැකක් නැතුව ඉන්න පුළුවන් වුනේ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන කාම අරමුණුවලට ගොඩාක් ආශාව තියෙන, තියුණු රාග තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. දුර ඈත අරණ්‍යවල, වන ගත කුටිවල ඔවුනුත් වාසය කරනවා. ඉතින්, කාම අරමුණුවලට තිබෙන ආශාවත්, තියුණු රාගයත් නැමැති තමන්ගේ දෝෂය හේතු කරගෙන ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. ඉතින් මම ඔය කාම අරමුණුවලට ගොඩාක් ආසා කරන, තියුණු රාග තියෙන කෙනෙක් නොවෙයි. ඉතින් මාත් දුර ඈත වනගත කුටිවල ඉන්න කෙනෙක්. මම ඔය ආකාර ආශාවන් නැති කෙනෙක්. ආර්යයන් වහන්සේලා ඔය ලෝභය නැතිවයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මම මා තුළින් ම ලෝභ රහිත බව දැකගත් නිසයි දුර ඈත වනාන්තරවල කිසි බියක් සැකක් නැතුව ඉන්න පුළුවන් වුනේ.
පින්වත් බ්‍රාහ්මණය, ඉතින් මට මේ විදිහටත් හිතුනා. තරහ සිත් ඇති, දුෂ්ට අදහස් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. තරහ සිතත්, දුෂ්ට අදහසුත් නැමැති තමන්ගේ දෝෂය හේතු කරගෙන ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම ඔය තරහ සිත් නැති කෙනෙක්. දුෂ්ට අදහස් නැති කෙනෙක්. මාත් දුර ඈත වනගත කුටිවල, අරණ්‍යවල ඉන්න කෙනෙක්. මම මෛත්‍රී සිත් ඇති කෙනෙක්. ආර්යයන් වහන්සේලා මෛත්‍රී සිතිනුයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. ඉතින් මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ ඇති මෛත්‍රී සහගත සිත දකින නිසා දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුණා. නිදිමතටත්, අලස බවටත් යට වුන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. නිදිමතටත්, අලස බවටත් යට වී සිටීම නැමැති තමන්ගේ ම දෝෂය හේතු කරගෙන ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම නම් ඔය නිදිමතට, අලස බවට යටවෙන කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත වනගත කුටිවල, දුර ඈත අරණ්‍යවල ඉන්න කෙනෙක්. නිදිමතත්, අලස බවත් දුරුකරගෙනයි මම ඉන්නෙ. ආර්යයන් වහන්සේලා නිදිමතෙන්, අලස බවෙන් තොරවයි දුර ඈත අරණ්‍යවලත්, වනගත කුටිවලත් වාසය කරන්නෙ. ඉතින් මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ නිදිමතත් අලස බවත් නැති වීම දකින නිසා දුර ඈත අරණ්‍යවල කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. නොසන්සිඳුණු, කැළඹී ගිය සිත් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. තමන්ගේ නොසංසිඳී ගිය, කැළඹුණු සිතේ දෝෂය නිසා ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම නම් නොසංසිඳී ගිය, කැළඹී ගිය සිත් නැති කෙනෙක්. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල ඉන්න කෙනෙක්. මම සංසිඳුණු සිත් ඇති කෙනෙක්. ආර්යයන් වහන්සේලා සංසිඳීගිය සිතිනුයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. ඉතින් මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ ඇති සංසිඳී ගිය සිත දකින නිසයි දුර ඈත අරණ්‍යවල කිසි බියක් සැකක් නැතුව මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. සැක සංකා තියෙන, විචිකිච්ඡා තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. සැක සංකා, විචිකිච්ඡා නැමැති තමන්ගේ ම දෝෂය හේතු කරගෙන ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. ඉතින් මම නම් ඔය සැකය විචිකිච්ඡාව ඇති කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල ඉන්න කෙනෙක්. මං විචිකිච්ඡාවෙන් එතෙර වෙච්ච කෙනෙක්. ආර්යයන් වහන්සේලා විචිකිච්ඡාවෙන් එතෙර වෙලයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. ඉතින් මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ විචිකිච්ඡාව නැති බව දකින නිසා දුර ඈත අරණ්‍යවල කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටින්නේ තමන්ව හුවා දක්වමින්, අනුන්ව හෙළා දකිමින්. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම තමන් තුළ ම තිබෙන තමා හුවා දැක්වීමේ, අනුන් හෙළා දැකීමේ දෝෂය නිසා ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම නම් ඔය තමා හුවාදක්වලා, අනුන් හෙළා දකින කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල ඉන්න කෙනෙක්. මම තමා හුවා නොදක්වන, අනුන් හෙළා නොදකින කෙනෙක්. ආර්යයන් වහන්සේලා තමන්ව හුවා නොදක්වමින්, අනුන්ව හෙළා නොදකිමින් දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන් අතර කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ තිබෙන තමා හුවා නොදක්වන, අනුන් හෙළා නොදකින බව දකින නිසයි, දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල කිසි බියක් සැකක් නැතුව මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. තැති ගන්නා වූ, බියෙන් සැලෙන්නා වූ ස්වභාවයෙන් යුතු, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම තැතිගන්නා වූ, බියෙන් සැලෙන්නා වූ ස්වභාවය නැමැති තමන්ගේ ම දෝෂය නිසා ම යි, ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම නම් ඔය තැති ගන්න, බියෙන් සැළෙන කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. මම ලොමු දැහැගැනීම් දුරුකරපු කෙනෙක්. ආර්යයන් වහන්සේලා ලොමු දැහැගැනීමෙන් තොරවයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන්ගෙන් කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ ලොමු දැහැගැනීම් නැති බව දකින නිසා දුර ඈත අරණ්‍යවල දුර ඈත වනගත කුටිවල, කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා කැමති වන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවිය ඒ වෙනුවෙන් ම දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට කැමති වීම නම් වූ තමන්ගේ ම දෝෂය හේතු කරගෙන ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා බලාගෙන නොවෙයි. මම අල්පේච්ඡ කෙනෙක්. ආර්යයන් වහන්සේලා අල්පේච්ඡව ම යි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන්ගෙන් කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ අල්පේච්ඡ බව දකින නිසා දුර ඈත අරණ්‍යවල කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. කම්මැලි, කිසිම වීරියක් නැති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම තමන්ගේ ම කම්මැලිකමත්, කිසිම වීරියක් නැතිකමත් නැමැති දෝෂය හේතු කරගෙන ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. මම කම්මැලි, කිසිම වීරියක් නැති කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. මම පටන් ගත්තු වීරියක් තියෙන කෙනෙක්. ආර්යයන් වහන්සේලා පටන් ගත්තු වීරියෙන් ම යි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන්ගෙන් කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ පටන් ගත් වීරිය ඇති බව දකින නිසා දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, ඉතින් මට මේ විදිහටත් හිතුනා. සිහි මුළා වුන, සිහි නුවණින් තොර වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම තමන්ගේ ම සිහි මුළාවත්, සිහි නුවණ නැති බවත් නැමැති දෝෂය නිසා ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම නම් සිහි මුළා වුණු, සිහි නුවණ නැති කෙනෙක් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල ඉන්න කෙනෙක්. මම සිහිය පිහිටුවා ගෙන සිහි නුවණින් යුක්තවයි ඉන්නෙ. ආර්යයන් වහන්සේලා සිහිය පිහිටුවා ගෙන සිහි නුවණින් යුක්තවයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන්ගෙන් කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ තිබෙන පිහිටුවාගත් සිහිය ඇති බව දකින නිසා, සිහි නුවණින් යුක්ත බව දකින නිසා දුර ඈත අරණ්‍යවල කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. සමාධිගත සිත් නැති, හැම අරමුණේ ම විසිරී ගිය සිත් ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම තමන් තුළ ඇති එකඟ නොවූ සිතත්, විසිරී ගිය සිතත් නැමැති තමන්ගේ ම දෝෂය හේතු කරගෙන ම යි ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් නොයෙකුත් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නෙ. නමුත් මම නම් එකඟ සිත් නැති කෙනෙක් නොවෙයි. විසිරෙන සිත් ඇති කෙනෙකුත් නොවෙයි. මාත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. මම සමාධියකින් යුක්ත කෙනෙක්. ආර්යයන් වහන්සේලා සමාධියකින් යුක්තවයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන්ගෙන් කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ තිබෙන සමාධි සම්පත්තිය දකින නිසා දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල කිසි බියක් සැකක් නැතුවයි මම හිටියෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. ප්‍රඥා රහිත වූ, මෝඩ වූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවියත් දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. ඇත්තෙන් ම ප්‍රඥා රහිත, මෝඩකම නැමැති තමන්ගේ ම දෝෂය නිසා, ඒ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් භය බිරාන්ත පාපී දේවල් කැඳවගන්නවා. නමුත් මම නම් ප්‍රඥා රහිත, මෝඩයෙකු නොවෙයි. මාත් ඉන්නෙ දුර ඈත අරණ්‍යවල, දුර ඈත වන ගත කුටිවල. මම ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. ආර්යයන් වහන්සේලා ප්‍රඥාවෙන් යුක්තවයි දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. මමත් ඔවුන්ගෙන් කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය, මා තුළ තිබෙන ප්‍රඥා සම්පත්තිය දැකීම නිසා දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නට මට කිසි බියක් සැකක් ඇතිවුනේ නෑ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ අදහසත් ඇති වුනා. සමහර දේවාල තියෙනවා, වනගත දෙවොල් තියෙනවා. වැඳුම් පිදුම් කරන විශාල ගස් තියෙනවා. ඒ තැන්වල ලොමු දහගන්වන බිහිසුණු අරමුණු ඇති කරවන හොල්මන් තියෙනවා කියල ප්‍රසිද්ධයි. හඳ ඇති පසළොස්වක රාත්‍රියටත්, තුදුස්වක රාත්‍රියටත්, අටවක රාත්‍රියටත්, ඒ තැන් හරි භයානකයිලු. ඉතින් මට හිතුන ඒ තැන්වලට ගිහින් රාත්‍රිය ගත කරල, ඒ භය බිරාන්ත දේවල් දකින්නට ඕන කියල. පින්වත් බ්‍රාහ්මණය, ඉතින් මම සමහර දවස්වල, පසළොස්වකට, තුදුස්වකට, අටවක රාත්‍රියට ඒ දේවාලවලට, ඒ වනගත දෙවොල්වලට යනවා. වැඳුම් පිදුම් කරන විශාල වෘක්ෂ ළඟට යනවා. ඒ භයානක, බිහිසුණු හොල්මන් තියෙනවයි කියන තැන්වලට ගිහින් මම තනියම රාත්‍රිය ගෙවනවා. පින්වත් බ්‍රාහ්මණය, මම ඒ විදිහට වාසය කරන කොට වනයේ ඉන්න සතෙක් හරි එනවා. එහෙම නැත්නම්, මොණරෙක් හරි, ගස්වල අතු කෑලි පහළට දානවා. එහෙමත් නැත්නම්, හුළඟින් ගසාගෙන ඇවිත් රොඩු කෑලි ටිකක් හරි වැටෙනවා. එතකොට මට මෙහෙමයි හිතුනේ. ඇත්තෙන් ම මේවා ම තමයි භය බිරාන්ත අරමුණු එනවා කියල කියන්නෙ.
පින්වත් බ්‍රාහ්මණය, මට මේ විදිහටත් හිතුනා. ඇත්තෙන් ම මම බියජනක අරමුණුවලට කැමතිව ඉන්න ඕන අසවල් දෙයකට ද? එහෙම නම් මම යම් යම් ඉරියව්වකින් ඉන්න විට, භය බිරාන්ත දේ එනවා නම්, ඒ ඒ ඉරියව්වේ ම ඉඳලා, ඒ භය බිරාන්ත දේ මම දුරු කරනවා කියල. පින්වත් බ්‍රාහ්මණය, මම සක්මන් කරමින් සිටිද්දී, භය බිරාන්ත අරමුණු එනවා. පින්වත් බ්‍රාහ්මණය, මම එතකොට නවතින්නෙත් නෑ. වාඩි වෙන්නෙත් නෑ. හාන්සි වෙන්නෙත් නෑ. සක්මන් කරමින් සිටිද්දී ම ඒ භය බිරාන්ත දේ, මම දුරුකරල දානවා.
පින්වත් බ්‍රාහ්මණය, මම හිටගෙන ඉන්න කොට භය බිරාන්ත දේවල් එනවා. එතකොට මම සක්මන් කරන්නෙත් නෑ. වාඩිවෙන්නෙත් නෑ. හාන්සි වෙන්නෙත් නෑ. හිටගෙන සිටිද්දී ම ඒ භය බිරාන්ත දේ දුරුකරල දානවා.
පින්වත් බ්‍රාහ්මණය, මම වාඩිවෙලා සිටින විටත්, භය බිරාන්ත දේ එනවා. එතකොට මම හාන්සි වෙන්නෙත් නෑ. හිටගන්නෙත් නෑ. සක්මන් කරන්නෙත් නෑ. වාඩි වී සිටිද්දී ම මං ඒ භය බිරාන්ත දේ දුරුකරල දානවා.
පින්වත් බ්‍රාහ්මණය, මම හාන්සි වෙලා සිටිද්දී භය බිරාන්ත දේ එනවා. එතකොට මම වාඩිවෙන්නෙත් නෑ. හිටගන්නෙත් නෑ. සක්මන් කරන්නෙත් නෑ. හාන්සි වෙලා සිටිද්දී ම මං ඒ භය බිරාන්ත දේ දුරුකරල දානවා.
පින්වත් බ්‍රාහ්මණය, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ උදවිය දවල් කියල හිතන්නෙ රාත්‍රියටයි. රාත්‍රිය කියල හිතන්නෙ දවල් කාලයටයි. ඒක ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මං මුළා වූ පැවැත්මක් කියලයි මං කියන්නෙ. නමුත් පින්වත් බ්‍රාහ්මණය, මම රාත්‍රිය, රාත්‍රිය හැටියට ම හඳුනගන්නවා. දහවල, දහවල හැටියට ම හඳුනගන්නවා. පින්වත් බ්‍රාහ්මණය, ඉතා යහපත් ලෙස යම් කෙනෙක් ගැන කියනවා නම්, මුළා නොවන ස්වභාවයෙන් යුතු කෙනෙක් ලෝකයේ ඉපිද සිටිනවා, ඔහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ ජනතාවගේ සැපය පිණිස, ලෝකානුකම්පාවෙන්, දෙව් මිනිස් ප්‍රජාවගේ යහපත හා හිත සුව පිණිස සිටින කෙනෙක් ය කියලා, ඒ ආකාරයෙන් මුළා නොවන ස්වභාවයෙන් යුතු කෙනෙක් ලෝකයේ ඉපදුනා ය, ඔහු බොහෝ ජනතාවට හිත පිණිස, බොහෝ ජනතාවට සුව පිණිස, ලෝකානුකම්පාවෙන්, දෙව් මිනිස් ප්‍රජාවගේ යහපත හා හිත සුව උදෙසා කැපවෙලා ඉන්නවා ය කියා කියන්නේ මා ගැනයි.
පින්වත් බ්‍රාහ්මණය, මගේ පටන් ගත් වීරිය ඒ අයුරින් ම යි තිබුනෙ. හැකිලුනේ නෑ. හොඳට සිහිය පිහිටා තිබුනා. සිහි මුළා වුනේ නෑ. කය සැහැල්ලු වුනා. බර ගතියක් තිබුනෙ නෑ. සිත සමාහිත වෙලා එකඟ වුනා. පින්වත් බ්‍රාහ්මණය, ඉතින් මම කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන් ගෙන් වෙන් වෙලා, විතර්ක සහිත, විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කළා.
විතර්ක, විචාර සංසිඳුවාගෙන, වඩාත් සිත පහදවාගෙන, වඩාත් එකඟ කරගෙන, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කළා.
ප්‍රීතිය ගැන ඇති ඇල්ම දුරු කරගෙන, උපේක්ෂාවෙන් වාසය කළා. සිහියත්, නුවණත් දියුණු කරගෙන, ඒ සමාධි සැපය කයෙනුත් වින්දා. ආර්යයන් වහන්සේලා ඒ සමාධියට කියන්නේ ‘සිහි ඇති කෙනාගේ උපේක්ෂාවෙන් යුක්ත වූ සැප සේ වාසය කිරීම’ කියල. ඒ තුන් වෙනි ධ්‍යානයටත් පැමිණ වාසය කළා.
සැපයත් ප්‍රහාණය කොට, දුකත් ප්‍රහාණය කොට මානසිකව ඇතිවන සොම්නස් දොම්නස් දෙක කලින් ම අතහැරල දුක් නැති, සැප නැති, ඉතා පිරිසිදු සිහියෙන් යුතු උපේක්ෂාව ඇති හතර වන ධ්‍යානයටත් පැමිණ වාසය කළා.
ඔය විදිහට මගේ සිත පිරිසිදු වුනා. ප්‍රභාෂ්වර වුනා. නීවරණ රහිත වුනා. උපක්ලේශ බැහැර වුනා. ගොඩාක් මෘදු වුනා. අවබෝධයට යෝග්‍ය විදිහට සකස් වුනා. ස්ථිරව පිහිටියා. කිසි දේකින් නොසෙල්වෙන ස්වභාවයට පත්වුනා. එතකොට මම නොයෙක් ආකාරයෙන් පෙර ගතකළ ජීවිත (පුබ්බේ නිවාස ඤාණය) ගැන දැනගන්නට සිත යොමු කළා. ඊට පස්සේ මම නොයෙක් ආකාරයෙන් පෙර ගතකළ ජීවිත සිහි කළා. ඒ මේ විදිහටයි. එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප සිහි කළා. නොයෙක් සංවට්ට-විවට්ට කල්ප සිහි කළා. ‘මං අසවල් තැන ඉපදුණා. එතකොට මගේ නම මේකයි. මගේ ගෝත්‍රය මේකයි. මගේ හැඩ රුව මේකයි. මං මේවා තමයි කෑවෙ, බීවෙ. මං සැප දුක් වින්දෙ මේ විදිහටයි. මං මේ විදිහට මැරිල ගියා. එතනින් චුත වෙලා අසවල් තැන ඉපදුනා. එතනදි මගේ නම මේකයි. ගෝත්‍රය මේකයි. මේ විදිහයි හැඩ රුව. මේව තමයි කෑවෙ, බීවෙ. මෙහෙමයි සැප දුක් වින්දෙ. මේ විදිහට මැරිල ගියා. එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා’ කියල.
ඔය විදිහට සියලු ආකාරයෙන් යුතුව, කරුණු සහිතව, නොයෙක් ආකාරයෙන් පෙර ගතකළ ජීවිත සිහි කරන්න පුළුවන් වුනා. පින්වත් බ්‍රාහ්මණය, මම රෑ ප්‍රථම යාමයේ මේ පළමු වන විද්‍යාව වන පුබ්බේනිවාස ඤාණය ලබා ගත්තා. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර නැසුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව වීරියෙන් යුතුව දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදුවිය යුතු අවබෝධයයි මා ලබාගත්තේ.
ඔය විදිහට මගේ සිත පිරිසිදු වුනා. ප්‍රභාෂ්වර වුනා. නීවරණ රහිත වුනා. උපක්ලේශ බැහැර වුනා. ගොඩාක් මෘදු වුනා. අවබෝධයට යෝග්‍ය විදිහට සකස් වුනා. ස්ථිරව පිහිටියා. කිසි දේකින් නොසෙල්වෙන තත්වයට පත් වුනා. එතකොට මං සත්වයන්ගේ චුතියත්, උපතත් අවබෝධ කරගැනීමට සිත යොමු කළා. සාමාන්‍ය මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය දිබ්බචක්ඛු (දිවැස) ඤාණය පහළ වුනා. එතකොට මං චුත වෙන, උපදින සත්වයන් දැක්කා. කර්මානුරූපව මේ සත්වයන්ට යහපත්, අයහපත්, ලස්සන, කැත, සුගති, දුගති ලැබෙනවා. ‘අනේ! මේ භවත් සත්වයෝ කයින් දුසිරිතේ යෙදිලා, වචනයෙන් දුසිරිතේ යෙදිලා, මනසින් දුසිරිතේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට නින්දා කරලා, මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහලා, මිථ්‍යා දෘෂ්ටික දේවල් පුරුදු කරලා, කය බිඳිල, මරණයට පත්වුනා ම සැප නැති දුගතිය වූ නිරයට ඇදගෙන වැටිලා, නිරයේ ඉපදිලා ඉන්නවා. නමුත් මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙහි යෙදිලා, වචී සුචරිතයෙහි යෙදිලා, මනෝ සුචරිතයෙහි යෙදිලා, ආර්යයන් වහන්සේලාට නින්දා නොකර, සම්මා දිට්ඨියෙන් යුතුව, සම්මා දිට්ඨියෙන් යුතු කටයුතු කරලා, කය බිඳිල, මරණයට පත්වුනා ම සුගතිය නම් වූ ස්වර්ග ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියලා. ඔය විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය, දිවැස ලබාගෙන, මේ චුතවෙන උපදින සත්වයන් මම දැක්කා. ඔවුන් කර්මානුරූපව යහපත්, අයහපත්, ලස්සන, කැත, සුගති, දුගති ලබාගන්න බව මම දැක්කා.
පින්වත් බ්‍රාහ්මණය, රාත්‍රියේ මධ්‍යම යාමයේ දී මේ චුතූපපාත ඤාණය නම් වූ දෙවන විද්‍යාව මම ලබාගත්තා. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර නැසුනා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව වීරියෙන් යුතුව දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදුවිය යුතු අවබෝධයයි මට ඇති වුනේ.
ඔය විදිහට මගේ සිත පිරිසිදු වුනා. ප්‍රභාෂ්වර වුනා. නීවරණ රහිත වුනා. උපක්ලේශ බැහැර වුනා. ගොඩාක් මෘදු වුනා. අවබෝධයට යෝග්‍ය විදිහට සකස් වුනා. ස්ථිරව පිහිටියා. කිසි දේකින් නොසෙල්වෙන තත්වයට පත් වුනා. එතකොට මම ආශ්‍රවයන් ක්ෂය වීමේ නුවණ ලබාගන්නට බලවත්ව සිත යොමු කළා. එතකොට මම ‘මේක තමයි දුක’ කියල යථාර්ථයෙන් ම දුක අවබෝධ කළා. ‘මේක තමයි ප්‍රහාණය කළ යුතු දුකේ සකස් වීම’ කියල යථාර්ථයෙන් ම දුක්ඛ සමුදය අවබෝධ කළා. ‘මේක තමයි සාක්ෂාත් කළ යුතු දුකේ නිරුද්ධ වීම’ කියල යථාර්ථයෙන් ම දුක්ඛ නිරෝධය අවබෝධ කළා. ‘මේක තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව’ කියල යථාර්ථයෙන් ම දුක් නිරුද්ධ වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද අවබෝධ කළා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රවයන්ගේ සකස් වීම’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රවයන්ගේ නිරුද්ධ වීම’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ‘මේක තමයි ආශ්‍රව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව’ කියල යථාර්ථයෙන් ම අවබෝධ කළා. ඔය ආකාරයට යථාර්ථයෙන් දැනගන්නා විට, දැකගන්නා විට කාමාශ්‍රවයෙනුත් හිත නිදහස් වුනා. භවාශ්‍රවයෙනුත් හිත නිදහස් වුනා. අවිද්‍යාශ්‍රවයෙනුත් හිත නිදහස් වුනා. සියලු කෙලෙසුන්ගෙන් හිත නිදහස් වීම නිසා, නිදහස් වුණු බවට අවබෝධය ඇති වුනා. ‘ඉපදීම නැති වී ගියා. උතුම් නිවන් මග සම්පූර්ණ කරගත්තා. ඒ වෙනුවෙන් කළ යුතු දේ කළා. මෙයින් බැහැර වූ වෙනත් උපතක් නැතැ’යි අවබෝධ වුනා. පින්වත් බ්‍රාහ්මණය, රාත්‍රියේ අවසන් යාමයේ මේ ආසවක්ඛය ඤාණය නම් වූ තුන්වන විද්‍යාව මම ලබාගත්තා. අවිද්‍යාව වැනසුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවෙලා ගියා. ආලෝකය උදාවුනා. අප්‍රමාදීව, වීරියෙන් යුතුව, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිදුවිය යුතු අවබෝධය මා තුළත් ඇති වුනා.
පින්වත් බ්‍රාහ්මණය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘ඒ වුනාට ශ්‍රමණ ගෞතමයන් තවමත් ඉන්නවා ඇත්තෙ, රාගය දුරු නොකොට වෙන්න ඇති. ද්වේෂය දුරු නොකොට වෙන්න ඇති. මෝහය දුරු නොකොට වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල තවමත් වාසය කරන්නෙ’ කියල. පින්වත් බ්‍රාහ්මණය, ඔබ එහෙම හිතන්න එපා. පින්වත් බ්‍රාහ්මණය, මම විශේෂ යහපත් කරුණු දෙකක් දකිමිනුයි, දුර ඈත අරණ්‍යවල, දුර ඈත වනගත කුටිවල වාසය කරන්නෙ. එනම්, මට මේ ජීවිතයේ දී ම සැනසිල්ලේ වාසය කිරීම පිණිසත්, මා පසුපසින් එන, ජනතාවට අනුකම්පාව පිණිසත් ය.”
“ඇත්තෙන් ම පින්වත් ගෞතමයන් වහන්සේ, තමා පසුපසින් එන ජනතාවට අනුකම්පාවෙන් යුක්තව ම යි, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් කළ යුතු විදිහට ම යි කරන්නෙ.
පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා ම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්ස, ඉතාම සුන්දරයි! පින්වත් ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාව, හරියට යටිකුරු කරල තිබිච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. වහල තිබිච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට යා යුතු මග පෙන්වා දෙනවා වගෙයි. අඳුරේ සිටින ඇස් ඇති අයට රූප දකින්නට තෙල් පහනක් දරනවා වගෙයි. පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් මට ධර්මය කියල දුන්නා. ඇත්තෙන් ම මම පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි ඇති තුරා තිසරණයට සැබැවින් ම පැමිණි උපාසකයෙක් ලෙස මාව පිළිගන්නා සේක්වා!”
භය බිරාන්ත වීමට හේතු වන කරුණු ගැන වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M